නොනගතය යනු කුමක්ද?

84

සිංහල අලුත් අවුරුදු දිනය අනෙක් බොහෝ ජන කොටස්වල අලුත් අවුරුදු දිනවලින් වෙනස් වේ.

මක්නිසා ද යත් එය ස්වාභාවික සිද්ධීන් දෙකක් මුල් කොට සම්මත කර ඇති දෙයක් වන බැවිනි.

මෙකී ස්වාභාවික සිද්ධීන් දෙකෙන් එකක් මගින් අවුරුද්ද පැවැත්විය යුතු මාසය තෝරාගෙන ඇති අතර අනෙකෙන් එය පැවැත්විය යුතු දිනය තෝරාගෙන ඇතැයි මට සිතේ.

නොනගතය යනු කුමක්ද?

මාසය තෝරා ගැනීමේදී අපේ පැරැන්නන් වසරේ සශ්‍රීක වූ මාසය තෝරාගෙන ඇත. එය භාග්‍යවත් මාසය හෙවත් බක් මාසයයි.

දිනය තෝරා ගැනීමේදී සූර්යයාගේ ගමන පිළිබඳව අවධානය යොමු කොට ඇති බවක් පෙනේ. සූර්යයා එක් රාශියක සිට තවත් රාශියකට ගමන් කරන දිනය අලුත් අවුරුදු දිනය ලෙස තෝරාගෙන ඇත්තේ එබැවින් විය යුතුය.

මේ කාලයේ සූර්යය සංක්‍රාන්තිය ලෙස සැලකෙන්නේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීමයි.

මෙකී සංක්‍රාන්තිය සිදුවන්නේ, එමෙන්ම සිදුව ඇත්තේ එකම දවසක ද? නැත. අප කුඩා කාලයේ අප්‍රේල් 12 වැනිදා මෙය සිදු වූ බැව් අපි දනිමු. තව වසර විස්සකින් විසි පහකින් පමණ මෙම සංක්‍රාන්තිය අප්‍රේල් 15 බඳු දිනක සිදුවිය හැකිය.

හොඳයි මේ ක්‍රමයම දිගටම සිදුවුවහොත්?

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් ගන්නා සූර්යය සංක්‍රාන්තිය ටිකෙන් ටික බක් මාසයේ අගට පැමිණිය හැකිය. එය ඉන් නොනවතිනු ඇත. වෙසක් මාසයට ද ගමන් කරනු ඇත.

මේ අනුව අලුත් අවුරුද්ද බක් මාසය තුළම රඳවා ගැනීමට මෙකී සූර්යය සංක්‍රාන්තිය පරහක් විය හැකිය.

මින් අපට හැඟෙන්නේ කුමක්ද?

බක් මාසය අවුරුදු මාසය ලෙසටම තබා ගැනීමට නම් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරුවන දා අවුරුදු දාය යන මතයෙන් අප මිදිය යුතු බවය. ඒ වෙනුවට බක් මාසය තුළ සිදුවන සූර්යය සංක්‍රාන්තිය අලුත් අවුරුදු සූර්යය සංක්‍රාන්තිය ලෙස තෝරාගත යුතු බවය. මේ අනුව තවත් වසර දහසක් පමණ යනවිට අලුත් අවුරුදු සංක්‍රාන්තිය ලෙස තෝරාගැනීමට සිදුවන්නේ සූර්යයා කුම්භ රාශියෙන් මීන රාශියට ගමන් කිරීමය.

මේ අදහස අනුව මෙයට වසර දහසකට පමණ පෙර අලුත් අවුරුදු සංක්‍රාන්තිය වන්නට ඇත්තේ සූර්යයා මේෂ රාශියෙන් වෘෂභ රාශියට ගමන් කිරීම විය යුතුය.

අද අප සලකන අලුත් අවුරුදු සූර්යය සංක්‍රාන්තිය යනු සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමය. අපි ඒ බැව් ඉහත සටහන් කළෙමු. මේ සංක්‍රාන්තිය මුල් වරට සිදුවී ඇත්තේ කවර බක් මාසයක් තුළද, අන්න ඒ බක් මාසයේ සිට ‘ශක වර්ෂ’ ක්‍රමය ආරම්භ වන්නට ඇතැයි මට සිතේ.

නොනගතය ගැන ද විවිධ අය විවිධ මත ප්‍රකාශ කරති.

එහෙත් මා එය දකින්නේ වෙනස් ආකාරයකටය. මෙහිදී මුලින්ම නොනගතය යන වචනය සෑදී ඇති ආකාරය විග්‍රහ කිරීම වටී.

අගත යනු පැමිණි යන්නයි. එසේ නම් අනගත නොපැමිණි යන්නයි. මේ අනුව නොනගත යන්නෙහි අරුත නොපැමිණියේ නොවේ යන්නයි. මෙය ඇවිල්ලත් නැහැ. නෑවිල්ලත් නැහැ ලෙසින් තවත් සරල කළ හැකිය. මෙහිදී ඇවිල්ලත් නෑවිල්ලත් නැත්තේ සූර්යයා ය. මන්ද සූර්යයා මේ දවසේ එක් රාශියක සිට තවත් රාශියකට ගමන් කරන බැවිනි.

මින් හැඟෙන්නේ සූර්යයා නොනගතය තුළදී එක් රාශියකින් නික්මෙමින් පවතින අතර අනෙක් රාශියට ඇතුළු වෙමින් තිබෙන බවය. එනම් කිසිදු රාශියකට පූර්ණව අයත් නොවන බවය. එය පහත දැක්වෙන රූ සටහනින් මනාව පැහැදිලි වේ.

ආචාර්ය නලින් ද සිල්වා
(මෙම ලිපිය පළමුවෙන්ම 1989 අප්‍රේල් 10 වැනි දින විදුසර පුවත්පතේ පළකර ඇත.)


advertistmentadvertistment