ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් එක්කෝ දිළින්දන් බවත්, නොඑසේ නම් දිළිඳුකම කරා ගමන් කරමින් සිටින බවත් ලෝක බැංකුව සඳහන් කර තිබේ. ලෝක බැංකුව එසේ කියනවා නම් ලෝකයේ සියලු බැංකුවල මතය එය ය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය ද එයම ය. එමතු ද නොව, ආසියානු සංවර්ධන බැංකුවේ මතය ද එයම ය. එක්සත් ජාතීන්ගේ වෙළෙඳ ඒජන්සියේ මතය ද එයම ය. ලංකාවේ සිටින තුනෙන් එකක් දිළින්දන් නිසා මන්දපෝෂණය දරුණු ලෙස පැතිරෙනු ඇතැයි එවිට ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ඇත. ඇමෙරිකාව මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වී සිටින අතර, එම සංවිධානයට වාර්ෂිකව දුන් ඩොලර් බිලියන ගණනක ප්‍රතිපාදන ද අත්හිටුවා ඇත. මේ ප්‍රතිපාදන තිබුණේ නම් ලංකාවේ මන්දපෝෂණය දුරලීමට හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසීමට ඉඩ තිබේ. එමගින් ඔවුහු ඩොනල්ඩ් ට්‍රම්ප්ට ෂොට් එකක් දීමට අවස්ථාවක් ලබාගනිති. මේ තමයි ලෝක ස්වභාවය. ලෙඩා සතුටින් සිටින විට වෙදා සිටින්නේ දුකෙනි. හැමදෙනාම තමන්ගේ අරමුණ සාක්‍ෂාත් කර ගැනීම සඳහා තමන්ට ලැබෙන අවස්ථාව පාවිච්චි කරති. කෙසේ වුවද ලංකාවේ තුනෙන් එකක් දිළිඳුභාවයේ කටුක රසය විඳිමින් සිටින්නේ නම් මෙම කතුවැකියේ මාතෘකාව ලෙස සඳහන් කර තිබෙන යාචක ගීතය එම පිරිසගේ තේමා ගීතය බවට පත් කර ගත හැකිය. දිළිඳුභාවය යනු, සමාජයකට අත්විය හැකි නරකම ඉරණම වේ. දිළිඳුභාවය තුළදී වැඩිදෙනාට කන්න නැත. වැඩිදෙනාට ගෙවල් නැත. වැඩිදෙනාට වෛද්‍ය පහසුකම් නැත. වැඩිදෙනාට ප්‍රවාහන පහසුකම් ද නැත. හුඟදෙනකුට ඇඳුම් නැත. එසේ නම් දිළිඳුභාවය යනු, ශිෂ්ටාචාරයේ ආරම්භයක් ලෙස හැඳින්විය හැකිය. එනම් දිළින්දා සිටින්නේ ශිෂ්ටාචාරය මුලය. ශිෂ්ටාචාරය මුල සිටි මිනිසුන්ට ආහාර, නිවාස, ඇඳුම් පැලඳුම්, ප්‍රවාහන පහසුකම්, වෛද්‍ය පහසුකම් යනාදිය තිබුණේ නැත. එම පහසුකම් ලබා ගැනීම සඳහා ශිෂ්ටාචාරයේ මුල සිටි මිනිස්සු අවුරුදු දහස් ගණනක් තටමමින් බලා සිටියහ. ලංකාව දිළිඳුභාවයෙන් ගොඩගැනීමට නම් අඩුම ගණනේ ඩොලර් බිලියන විස්සක්වත් රටේ ආර්ථිකයට පොම්ප කළ යුතුය. හැබැයි එම මුදල ණයක් ලෙස නොව, පොලී රහිත ප්‍රදානයක් ලෙස රට ඇතුළට ආවොත් අපට ගොඩඒමක් තිබේ.
1970 දී ශ්‍රී ලංකාව යනු, ගැමි රාජ්‍යයකි. එකල, මෙකල මෙන් හැම තැනම ලයිට් නැත. හැම තැනම ටෙලිෆෝන් නැත. සෙලියුලර් දුරකථන ගැන මිනිසුන් අසාවත් නැත. කම්පියුටර් ගැන මහජනතාව හිතාවත් නැත. රටේ වැඩි පිරිසක් ජීවත් වුණේ කුඹුරු වැඩ කිරීමෙන් සහ කුලී වැඩ කිරීමෙනි. ඊට අමතරව ගමෙන් කොළඹට පැමිණ ජ්‍යෙෂ්ඨ විභාගය සමත් කර ගත් කට්ටිය ආණ්ඩුවේ ලියනමහත්තයන් වී ජොබ් කළෝය. එකල ආණ්ඩුවේ ක්ලාක් කෙනකු යනු, මෙකල අමාත්‍යාංශයක ලේකම් කෙනකු හා සමානය. රට බෙහෙවින්ම ගැමි පරිසරයක ස්ථානගතව තිබූ නිසා මිනිසුන්ට දිළිඳුකම අරුමයක් වුණේ නැත. පොහොසත්කමේ ප්‍රයෝජනය දන්නේ පෝසතා පමණි. පොහොසත්කමේ ප්‍රයෝජනය ගැන නොදන්නා දිළින්දාට ජීවිතය කොහොමත් එකය. හැබැයි පොහොසත්කම වර්ධනය වන විට සහ පොහොසත්කම පැතිරෙන විට පන්තිභේදයේ පරතරය ජනතාවට දැනෙයි. පොහොසතා බේකන් කන බවත්, තමන් හුළං විස්කෝතු කන බවත් දිළින්දාට වැටහෙයි. මේ ලක්‍ෂ්‍යයේ දී පන්ති පරතරය පුපුරා ගොස් කැරලි හටගනී. වාමාංශිකයන් සහ කොමියුනිස්ට්කාරයන් මේ කැරලි තත්ත්වය හඳුන්වන්නේ විප්ලවය ලෙසය. පාලකයන් මේ තත්ත්වය හඳුන්වන්නේ ත්‍රස්තවාදය ලෙසය. 1971 ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලයට ප්‍රධාන හේතුව වන්නේ, පන්ති පරතරය පුපුරා යෑම ය. හැබැයි හැම කැරැල්ලක්ම එක හා සමාන නැත. 1818 කැරැල්ල සහ 1971 කැරැල්ල යනු වර්ග දෙකක කැරලි දෙකකි.
ලංකාවේ තිබෙන සංස්කෘතික වටපිටාව අනුව දුප්පත්කම පිටුදැකීම ඉතා දුෂ්කරය. ඒ අනුව ලංකාවේ සිටින දෙකෝටි විසිලක්‍ෂයක ජනගහනය තුළ ඇති බහුතර කැමැත්ත වන්නේ ජනසවියෙන්, සමෘද්ධියෙන් හෝ අස්වැසුමෙන් ජීවත්වීමය. අපගේ සංස්කෘතියට අනුව අනෙකාගේ අත සෙලවීම ගැන මිස තමාගේ අත සෙලවීම ගැන මිනිස්සු කල්පනා නොකරති. හැමෝටම අවශ්‍ය වන්නේ අනෙකා මහන්සිවනු දැකීමටය. තමන් මහන්සි වීමට කවුරුත් කැමැති නැත. ඒ නිසා අවසාන ඵලයේ දී කවුරුත් වැඩ කරන්නේ නැත. ඒකට ද හරියන්නට ආණ්ඩු ද සෙට්වන බැවින් දුප්පත්කම තව තවත් වර්ධනය වීම මිස අඩුවීමක් සිදුවන්නේ ද නැත.
ලංකාව යනු න්‍යායාචාර්යවරුන්ගේ රටකි. එම න්‍යායාචාර්යවරුන්ගෙන් ඉගෙන ගන්නා ගෝලයෝ ද න්‍යායාචාර්යවරු වෙති. මේ තත්ත්වය මෙසේ කැරකෙන විට ඉබේම වර්ධනය වන දෙයක් ඇත. ඒ වූ කලී දුප්පත්කමය.
ශ්‍රී ලංකාව දුප්පත් වූයේ ස්වෝත්සාහයෙනි.
සිංගප්පූරුව, වියට්නාමය, තායිවානය වැනි සෙසු ආසියාතික රටවල් ස්වෝත්සාහයෙන් දියුණු වෙද්දී අපි කැමැත්තෙන්ම දුගියෝ වීමු. අපේ දුගීභාවයට ප්‍රධාන හේතුවක් වන්නේ, මේ රට නිෂ්පාදන රාජ්‍යයක් නොවීමය. ලංකාව ගැමි රාජ්‍යයක්ව පැවැති සමයේ දී එය සරල නිෂ්පාදන රාජ්‍යයකි. 1977 න් පසු ශ්‍රී ලංකාව විවෘත ආර්ථික සුළඟට හසුවීම නිසා පිටරටින් බඩු ඒමට පටන්ගෙන මේ රටේ නිෂ්පාදනය සහමුලින්ම නතර විය. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ලංකාව භාරගන්නා අවස්ථාවේ දී මුළු ලෝකයම ගෝලීයකරණය නමැති ආර්ථික සහ සමාජ ප්‍රවාහයට හසුව තිබිණ. ඒ නිසා එම සුළඟේම ගසා ගෙන යනවා හැර හුළඟට විරුද්ධව පොරබදන්නට හැකියාවක් ජනාධිපති ජයවර්ධනට තිබුණේ ද නැත. අන්තිමේ දී අපි සරුංගල්, හඳුන්කූරු පවා පිටරටින් ගෙන්වන රටක් බවට පත්වීමු. (ඒවා සුපිරියට හදන්න පුළුවන්, හදන දේශීය නිෂ්පාදකයෝ දුෂ්කරතා මැද ජීවන සටනට උරදෙති.) අපේ දුප්පත්කම පිළිබඳ කතන්දරය මුළු දවසක් තිස්සේ වුව ලිවිය හැකි කතාවකි. එහෙත් අපි අදට මෙතැනින් නවතිමු.