පක්ෂ පාට භේදවලින් තොර වේදිකාවක් ශ්‍රීලනිප නව සන්ධානය තුළ හැදිලා – ශ්‍රීලනිප වැ.බ.සභාපති නිමල් සිරිපාල සිල්වා

76

ශ්‍රීලනිපය නව සන්ධානයේ වැල්ලවාය ජන රැලිය
නව සන්ධානයට රට පුරා තවත් මන්ත්‍රීවරු එකතු වෙනවා – අනුර ප්‍රියදර්ශන යාපා
මීළඟ ජනපතිවරණයේ තීරක බලවේගය නව සන්ධානයයි – මහින්ද අමරවීර

පක්ෂ පාට භේදවලින් තොර වේදිකාවක් අද ශ්‍රීලනිපය ප්‍රමුඛ නව සන්ධානයකට හදන්න පුළුවන් වී තිබෙනවා. එකමුතුභාවය පිළිබඳව නව අදහසක් අද ඉදිරිපත් කර තිබෙනවා’ යයි ශ්‍රීලනිප වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැලි මාලාවේ දෙවන ජන රැලිය පෙරේදා (29දා) මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගරයේදී අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් යුතුව පැවති අවස්ථාවේ පැවසීය.

“දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව යටතේ විශාල ජනතා සහභාගිත්වයකින් යුතුව ඇරැඹි වැල්ලවාය ජන රැලිය විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා විසින් සංවිධානය කර තිබිණි.

ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් ශ්‍රීලනිප හා නව සන්ධාන වේදිකාවට ගොඩවිය. නිමල් ලාන්සා ඇතුළු සන්ධානයේ නායකයන් ද ඊට එක්ව සිටියහ.

මෙම ජන රැලියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනවිරත්න, නිමල් ලාන්සා, එස්. වියාලේන්ද්‍රන්, ජගත් ප්‍රියංකර, හිටපු අමාත්‍ය සුමේධා ජී. ජයසේන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නව සන්ධානයට සහය දක්වන පළාත් සභා මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වී සිටියහ.

ජගත් පුෂ්පකුමාර මහතා අදහස් දක්වමින් –

අද මේ වනවිට මෙම රැලියට 35,000කට වැඩි පිරිසක් පැමිණ සිටින බවට මට තොරතුරු වාර්තා වෙනවා. මේ වගේ ජනගහනයක් මින් පෙර කවදාවත් මෙවැනි දේශපාලන රැලියකට මොනරාගල දිස්ත්‍රික්කයේ සහභාගිවෙලා නැහැ. තමුන්නාන්සේලා දන්නවා. මේ රැලි මාලාව අපි පවත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ශක්තිය පෙන්වීම සඳහායි. මින් පෙර විවිධ පක්ෂ මොනරාගල දිස්ත්‍රික්කයේ මහජන හමු පැවැත්වූවා. නමුත් ඔවුන් කළේ වෙනත් දිස්ත්‍රික්කවලින් සෙනඟ ගෙනැල්ලා පුරවන එකයි. සමහරු මට යෝජනා කළා පොළ භූමියේ මේ රැලිය පවත්වමු කියලා. මම කිව්වා නෑ. මම මේක පවත්වන්නේ වැල්ලවාය පිට්ටනියේ කියලා. අද මේ ක්‍රීඩාංගණය විතරක් නොවෙයි. මුළු නගරයම අපි මහජනතාවගෙන් පිරෙව්වා.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා –

අද මෙතැන පැවැත්වෙන රැලියේදී අද මට මොනරාගල ත්‍රිත්වයක් මතක් වෙනවා. ඒ තමයි සුමේධා ජයසේන මැතිනිය, ජගත් පුෂ්පකුමාර හා විජයමුනි සොයිසා යන පිරිස. සුමේධා ජී. ජයසේන මැතිනිය හා ජගත් පුෂ්පකුමාර මහතා අද මෙතැන ඉන්නවා. විජයමුනි සොයිසා මහතා ඉදිරියේ දී අපිට එකතුවනු ඇතැයි මම හිතනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ගාමක බලවේගයක්. එහි ගාමක බලවේගය වන්නේ මහජනතාවයි. අද මේ නව සන්ධානය තුළ රටේ හතර

දිග්බාගයේ සිටින සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු මන්ත්‍රීවරු අපිට එකතු වෙනවා. අපිත් එක්ක සාකච්ඡා කරනවා.

චාමර සම්පත් දසනායක මහතා –

අද මේ පැවැත්වෙන රැලියේ වේදිකාව දිහා මම බැලුවා. මේකේ දැලි පිහියෙන් කිරිපැණි කාලා, වඳුරන්ගෙන් බන අහලා, නේරංජනාවෙන් ගොඩ වෙච්ච කට්ට වෙට්ට පිත්තල ඔක්කොම ඉන්නවා. මම එහෙම කියන්නේ වෙන එකක් නිසා නොවෙයි. කිසි දිනෙක මැතිවරණයකින් පරාජය නොවිච්ච පිරිසක් අද මෙතැන ඉන්නවා. ඒ නිසා මේ ඉන්න ජනගහනය දෙස බලපුවාම අපිටත් ලොකු අභියෝගයක් තියෙනවා. මොකද මීළඟ රැස්වීම තියෙන්නේ බදුල්ලේ. අපිට මීට වඩා ජනකායක් සහභාගි කරන්න සිදුවෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා

ලබන 14 වෙනිදා මීලඟ රැස්වීම තියන්නේ බදුල්ලේ. ඒ රැස්වීම සංවිධානය කරන්නේ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා සහ චාමර සම්පත් දසනායක ඇමැතිතුමායි. ඒ රැස්වීමට අපි මීට වඩා දෙගුණයක් ජනතාව සහභාගි කරවනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ කඩන්න, බිඳින්න පුළුවන් පක්ෂයක් නොවෙයි. වරින්වර යම් යම් පසුබෑම් ආවත් අපේ පක්ෂය කළින් තිබුණාටත් වඩා ශක්තිමත්ව

නැගීසිටිනවා. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවත් ශක්තියක් වෙන්න මේ නව සන්ධානය දැන් අපිත් එක්ක එකතුවෙලා තියෙනවා. අපේ පක්ෂයේ හිටපු සභාපති මේ පක්ෂය අඩියටම බැස්සුවා. එදා අපි හිටපු සභාපතිට කිව්වා නිමල් ලන්සා මහත්තයාලා විසින් හදන සන්ධානය සමග සාකච්ඡා කරමු කියලා. නමුත් එයාට වුවමනාවක් තිබුණේ නැහැ. අපි මන්ත්‍රීවරු 142ක් සමග භාර දුන්නු පක්ෂය හිටපු සභාපතිතුමා 02ට බැස්සුවා.

ඒ නිසා මීළඟ ජනාධිපතිවරණයේ තීරණාත්මක බලවේගය වන්නේ ඔය දැන් ඉන්න කිසිදු දේශපාලන පක්ෂයක් නොවෙයි. මේ මැතිවරණයේ තීරණාත්මක බලවේගය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයයි. මීළඟ ජනාධිපතිවරයා වන්නේ අපි සහයෝගය දක්වන ජනාධිපති අපේක්ෂකයායි. ඒ නිසා මීළඟ ජනාධිපතිවරයා පත් කරන්නේ මේ නව සන්ධානය විසින් බව මම ප්‍රකාශ කරනවා.

වරාය හා ගුවන් සේවා අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා

පටු දේශපාලනික අරමුණුවලින් තොරව හුදෙක් රට ගැන සිතා කටයුතු කරන පිරිසක් අද මේ සන්ධානයට එකතු වී තිබෙනවා. මේ රටේ හැම පක්ෂයක්ම දෙකට තුනට කැඩිලා බෙදිලා වෙන්වෙලා තිබුණු අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය දේශපාලන එකමුතුභාවය පිළිබඳ නව අදහසක් අද ඉදිරිපත් කර තිබෙනවා.

අපිට අවශ්‍ය වන්නේ මේ එකමුතුභාවය තුළින් රට ජයග්‍රහණය කරවන්න. මේ රට ආර්ථික හා දේශපාලනික අර්බුදයෙන් ගොඩගැනීමට නම් ශක්තිමත් දේශපාලන සන්ධානයක් අවශ්‍යයි.

අද අපි දෙන්නේ ඒ ශක්තියයි. අන්තවාදී වාම දේශපාලනය අද ලෝකය පිළිගන්නේ නැහැ. ගෝලීය දේශපාලනය තුළ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ඔය අන්තවාදී දේශපාලනයෙන් තහවුරු කරන්න බැහැ. ඒ සඳහා ශක්තිමත් ආර්ථික හා දේශපාලන වැඩපිළිවෙළක් තිබිය යුතුයි. පිකට් කළාට, උද්ඝෝෂණය කළාට, විරෝධතා පැවැත්වූවාට පිළිගත් ආර්ථික හා දේශපාලනික වැඩ පිළිවෙළක් නැත්නම් මේ රට ගොඩගන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ අරමුණ ඒ සඳහා නායකත්වය ලබා දීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment