ශ්‍රී ලාංකේය පත්‍ර කලා ඉතිහාසයේ තිස්තුන් වසරක් අඛණ්ඩව එකම පුවත්පතක කර්තෘත්වය හෙබවූ ලංකාදීප කර්තෘ සිරි රණසිංහ මහතාගේ මාධ්‍ය මෙහෙවර අගයනු වස් සංවිධානය කරන “සිරි අසිරි” ඇගයුම් උළෙල මෙම මස 20 වැනි දින ප.ව. 4.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
ඔහු සිරි රණසිංහ! මට හමුවූයේ, බොහෝ පත්තර හපනුන් හමුවූ තැනදීම ය. ඒ ‘විජය’ ප්‍රකාශන නිකුත් කෙරුණු “විජය” නිවසේදී ය. ලේක්හවුසියෙන් ‘විජය’ නිවසට පය ගැසූ සිරි රණසිංහ මා දුටුයේ සංසුන් මිනිසකු ලෙස ය. වැඩි කතාකාරයකු ද නොවුණ ඔහු හොඳ ඇහුම්කන් දෙන්නෙකි….!
ඒ මා ඔහු හඳුනාගත් සැටියි.
“සුරතලා” නමින් පෙර පාසල් වියේ දරුවන් සඳහා පත්තරයක් ආරම්භ කිරීමට “විජය ප්‍රකාශන” සමාගම ගත් තීන්දුවේ දී මට “සුරතලා” පත්‍රයේ කටයුතු භාර විණි.
“විජය” ප්‍රකාශන සියල්ලේ ම නායකයා වූ ඇස්. සුබසිංහ මහතාත් ඒ නායකත්වයට, අබ ඇටයක තරම්වත් අඩුවක් නැතිව සහයෝගය දුන් පර්සි ජයමාන්න මහතාත්, ඒ දෙදෙනා සමග කරට කර සිටගත් දෙල්තොට චන්ද්‍රපාලත් ලක්ෂ්මන් ජයවර්ධනත් “විජය” පත්තර ජාලයේ ආරම්භකයෝ වූහ. පසු දවසක ඒ අතරට සිරි රණසිංහ ද එක් වූයේය.
සති මැද “ලංකාදීපය” දිනපතා ප්‍රකාශනයක් ලෙසට කලඑළි දකිද්දී “විජය” ප්‍රකාශන සියල්ලට ම නායක්වය දුන් සුබසිංහ මහතා වැඩ බෙදා දුන්නේය. කිත්සිරි සමරනායකට “විජය” ළමා පත්තරයත්, “තරුණයා” පත්තරයක් භාරදුන් අතර “සිරිකත” අනුල ද සිල්වාටත් භාරදුන් නමුත් පසුකලෙක “වනිතා විත්ති” සඟරාමය ප්‍රකාශනය අනුලට පවරා “විජය” නිවසට ගිය පසු සිරි රණසිංහට “සිරිකත” භාර කෙරිණි.
සිරි රණසිංහ, තමා පත්තර වැඩකාරයකු බව පෙන්වූයේ හීන් සීරුවෙනි. ලියන්න අත හුරු ඇත්තොත් ලුණු ඇඹුල් පදමට යොදමින් හොද්දර බොර නොකොට ලියන්නට සමත්කම් ඇත්තෝත් “සිරිකත” වටා රොක්වූහ.
“සුරතලා” ළමා පත්‍රයේ කටයුතු අතරට නොවරදාම සතියක් පාසා මම “සිරිකත” වෙනුවෙන් ලියන කාන්තා ලිපිය සිරි රණසිංහ කතුතුමාගේ මේසය මත තබමි. මා දුටු විශේෂ කරුණක් වූයේ සිරි රණසිංහ “සිරිකත” සඳහා පළ කරන්නට සැකසෙන සෑම ලිපියක්ම කියවීමයි.
ඔහුට නිවැරදි බස උවමනාය. රසවත්කම උඩින් බිමින් ගලා ගියත්, බස නිවැරදි නැත්නම්, ඔහු ඒ ලිපියත් අතට ගෙන පුටුවෙන් නැඟිටින්නේ, ලිපිය ලියූ කෙනා ළඟ නවතින්නටය. වැරදි තැන් ලකුණු කර ඇත. නැවත ලියැවීම ඔහුගේ නියමයයි. ලිවීමේ වැරදි සහිත ආවෝ නිවැරදි ලියන්නන් වී “විජය” භූමියෙන් පිටව, මහා සමාජයට ගියේ ඒ පිළිවෙළට ය.
විවාහ වූ දා…
සුබසිංහ මහතා ගෙදර ගියේය. ඉන්පසු දවසක පර්සි ජයමාන්න මහතා ද විජය ප්‍රකාශන වෙතින් සමුගත්තේය. සිරි රණසිංහ විජය පුවත්පත් ප්‍රකාශන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූයේය.
ලංකාදීපය ඇතුළු සියලු සිංහල ප්‍රකාශනවල වගකිවයුත්තා සිරි රණසිංහ ය.
ඒත් ඔහු ඔහුමය.
“විජය” ප්‍රකාශන සමග එක් වූ මුල් කාලයේ දෙල්තොට චන්ද්‍රපාල පෙරමුණ ගනිමින් අපි හත්අට දෙනෙක් ඉර අවරට යන සැදෑ කල “විජය” නිවසින් පිටවී “බේක් හවුස්” වෙත ඇවිදිමු. ඒ සීනිසම්බල් සමග ආප්ප කන්නටය. අපේ අලුත් කතුවරයා සිරි රණසිංහ ද ඔහුගේ කළුපාට හම් බෑගය අතින් ගෙන හෙමිහිට ඇවිදිමින් අපගේ සද්ද බද්ද සිනා කතාවල පැටළෙමින් අප හා ඇවිද එයි. අප රසකතා අතර, කටදන සීනි සම්බල සමග ආප්ප කා කහට තේ බී, “බේක් හවුසියෙන් පිටව බස් නැවතුම්පළවල් වෙත විසිර යමු. ඒ කදිම සැහැල්ලු සැදෑවක්ය.
අප කෑ උණු ආප්පවල මිල ගෙව්වේ දෙල්තොට චන්ද්‍රපාල ය. අප නොවේ. එහි සමහර දවසක සිරි රණසිංහ ඒ මිල ගෙව්වා මට මතක ය. අප කිසිවකුට එවැනි අත පෙවීමකට හයිය හත්තිය තිබුණේ නැත.
සිරි රණසිංහ උදේ නවයටත් කලින් කර්තෘ මණ්ඩල මහ පුටුවේ ය. දවස පුරා වැඩ ය. රට ගිනි අඟුරු මතය. කල් බලා සිටින්නට බැරිය. ප්‍රවෘත්ති උණුසුම්ය. විශේෂාංග හරවත්ය. “ලංකාදීප”ය වටකර පුවත් පිපාසය, දැනුම් පිපාසය ඇත්තෝ බලා සිටියහ. රාත්‍රී නවය දහය වනතුරුත් වැඩ කිරීමට සිරි රණසිංහ සූදානම්ය. ඒ උනන්දුවකි. කාර්ය මණ්ඩලය පුරා යන උනන්දුවේ දිය පහරකි.
“ලංකාදීප” පුවත්පත තරමට ම විජය නිවසින් පිටවන අනෙක් ප්‍රකාශන ගැන ද ඔහුගේ අවධානය තියුණුය. ඇත්තම නම්, වැඩ දන්නා වැඩ කරන පත්තරකාරයකුට, රාත්‍රිය නින්දට අඩ නොගසයි. ඔහු නොනිදන බව රාත්‍රිය දනියි. ඔහුගේ නින්ද කඩින් කඩ එමින් යමින් රැය පහන් කර දී යළි ඔහුව වැඩට කැඳවයි. ඒ ජනතාවට වගකියන මාධ්‍යකරුවන්ගේ ඉරණමේ හැටිය.
සිරි රණසිංහට මාධ්‍යවේදීන් ඇතැම් වෙනත් සේවාවන්හි නියුක්ත සිය දෙනෙකුට නොඅඩු කාර්යමණ්ඩලයක් සමග වැඩ කරන්නට තිබිණි. ඔහුට වැඩ ප්‍රමාදය වගේම වැඩෙහි කඩතොලු ද රුස්සන්නේ නැත. ඒ නොරිස්සුව ඔහුව කෝප ගන්වයි. ඔහුගේ ඒ කෝපය ප්‍රමාදය අප්‍රමාදයට හැරුණු පසුවත් කඩතොලු මැකී පිළියම මනාව කෙරුණු පසුවත් කවුදෝ ඇවිදින්, ඒ කෝපය කොහේදෝ ගෙන ගියා වැනි යැයි මට සිතුණු වාර අනන්තය.
ඉන්පසු යළිත් ඔහ සංසුන්ය. කාර්ය මණ්ඩලයේ මේස අතරින් ඇවිදියි. තැන තැන නවතියි. සිද්ධියක් මතක් කරයි. කාගේත් මතකය ඒ තැනට ගෙන යයි. සිනාසෙයි. අර ඩිංගිත්තකට කලින් කෑගසා බැන අඩ ගැසූ මිනිසා සිනාසෙයි.
කර්තෘ මණ්ඩල ප්‍රධානියා ඔහුය.
අද විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ද වෙයි.
ඉතා සුරතල් වියේ දරුවන්ගේ කල්පනා ලෝකය අවදි කරන්නට පත්තර පිටු සමග හරඹ කරන්නට මා විජය නිවසට ගොඩවන්නේ සැමදා රාත්‍රියේ තේමාවක් ලෙසින් නොවරදවා සිදු කෙරන ගෙදර ගිනි මැලයේ ගිනි අඟුරු නිවෙන්නට ද පෙරය. සුරතලා මට ජීවත් වීමට ශක්තිය දුන්නේය. ඒත් “සුරතලා” මගෙන් උදුර ගන්නට ඕනෑකම ඇත්තන්ට ඉඩ දී මම “සුරතලා” අතහැර සිරි රණසිංහගේ කාතෘත්වයෙන් පැවතුණු දිනපතා ලංකාදීපයේ විශේෂාංග අංශයට එක්වීමි.
වසර විසිතුනක විජය ප්‍රකාශන සේවා කාලයෙන් ඉවත්ව මගේ වැඩක් කරගෙන ඉන්නට සිත් වූ මට, සමුදීමේ සුහද හමුවක් පැවැත් වීමට මුල් වූයේ ද සිරි රණසිංහ ය. මට කල්පනා වන විදියට, සිරි රණසිංහ මාධ්‍ය අයිතිකරුවන් මාධ්‍යකරුවන් අතර කදිම සවිමත් පාලමක් තැනූ අවස්ථාවකි.
විජය ප්‍රකාශන සමග මගේ බැඳීම තවමත් පවතින්නේත්, සිරි රණසිංහ දක්වන සුහදතාව නිසා යැයි මට හිතේ. ඔහු කලබල නැති කතුවරයෙකි. ඉක්මන් නොවෙන පාලකයෙකි. හෙමිහිට දිග ගමනක් යමින් සිටින ප්‍රධානියෙකි. සේවයට ගරු කරන, සේවයේ ගරුත්වය රකින කතුවරයෙකි.
සුබ උපන් දිනයක් වේවා!
සිරි රණසිංහ වියතාණෙනි, ඔබ මේ බිමට ආවේ බොහෝ පිංකරය. ඔබ දැනුදු ඒ පිං රැස් කිරීමේ පුරුද්ද අත්හැර නැත.
මිනිසාගේ පැහැදුල් සිතුම් හා තියුණු කල්පනාවන්ට ඉඩ හසර සැලසීම තරම් පිනක් තව කොයින්ද?
සිරි රණසිංහ මහත්මාණෙනි,
ඔබට චිර ජීවනය.
කරුණා පෙරේරා
සංස්කරණය – රුවන් ජයවර්ධන