පර්ලිමේන්තුවේ ඇමරිකානු ව්‍යාපෘතියක් !

502

ඇමෙරිකානු ව්‍යාපෘතියක් වන ජාතික ප්‍රජාතන්ත්‍රවාදය ආයතනය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමග ඇතිකර ගත් එකඟතාවයකට අනුව ‘පුංචි දූපතේ කුරුලු කතන්දරය’ (කුරුලු පාර්ලිමේන්තුවේ කථාව) නමැති ළමා කෘතියක් කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී එළි දැක්වීය.

උත්සවය කොළඹ මහජන පුස්තකාලයේ ළමා අංශයේදී පැවැත්විණි. ඒ නොවැම්බර් 27 දිනය. සිංහල, ද්‍රවිඩ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම පළ කර තිබූ එම කෘතිය පාර්ලිමේන්තුව නොවැම්බර් 28 දින නිකුත් කළ නිවේදනයකට අනුව අනාගත නායකත්වයට සූදානම් වන දරුවන්ට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳව සරල බසින් රසවින්දනාත්මකව කියා දීමට කළ උත්සාහයකි.

පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ බංකොලොත් කළ ශ්‍රී ලංකාවේ දරුවන්ට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියා දීමට පෙර කළ යුතු බොහෝ දේවල් ඇත. බොහෝ දරුවන්ට නිසි ආහාර වේලක් ලැබෙන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය බඩ පුරවන්නේ නැත.

රට කරවන බලකණු තුන වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය තවදුරටත් තීව්‍ර වෙමින් පවතින දේශපාලනික-ආර්ථික-සමාජීය අර්බුදය තුළ ජාතික ප්‍රජාතන්ත්‍රවාදය ආයතනය ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිය දකින්නේ කෙළෙසද? මෙහිදී එම ව්‍යාපෘතිය පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කර ඇති නමුත් එම තත්ත්වය පිළිබඳව විමසා බැලිය යුතු වන්නේ සමස්ත ඇමෙරිකානු මැදිහත්වීම අවධාරණය කරමින්ය.

මීට දශක හතරකට පෙර ඇමෙරිකාවේ වොෂින්ටන් හි දී පිහිටුවාගත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදය ආයතනය සම්පූර්ණයෙන්ම බටහිර ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතියට මූල්‍ය ආධාර ලබා දෙන කණ්ඩායම අතර යුරෝපා සංගමය ද ඇත. අතිශය තීරණාත්මක අර්බුදයකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව ඇමෙරිකානු නායකත්වය යටතේ බටහිර, චීන සහ ඉන්දියානු මැදිහත්වීම් වැලකට මුහුණ දී ඇත. මෙහිදී ඉන්දියාව ඇමෙරිකාව ප්‍රමුඛ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකු බවද අමතක කළ නොහැක. ජපානය ද එම කණ්ඩායම නියෝජනය කරයි. අවුල් වූ රටක් විදේශීය මැදිහත්වීම්වලට තෝතැන්නකි. ශ්‍රී ලංකාව ඊට කදිම උදාහරණයකි.

මෙවැනි තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තුව ජාතික ප්‍රජාතන්ත්‍රවාදය ආයතනය මූල්‍ය දායකත්වය සැපයූ ‘පුංචි දූපතේ කුරුලු කතන්දරය’ දැනට ක්‍රියාත්මක දැවැන්ත ව්‍යාපෘතියක කොටසකි. ශ්‍රී ලංකාව ලෝකයටම ණයවී ඇත. පාර්ලිමේන්තුව ඊට වගකිව යුතුය. ‘පුංචි දූපතේ කුරුලු කතන්දරය’ කෙසේ වෙතත් පුංචි දූපතේ කථාව ඉතාමත් අමිහිරි ය. පාර්ලිමේන්තුවෙන් දිනපතා ඇහෙන කථා සමස්ත ජනතාව දුකට පත් කිරීමට මෙම ආයතනය වගකිව යුතු බව නැවත නැවතත් අවධාරණය කරයි. අවාසනාවකට රටට අවශ්‍ය, ජනතාව වහා බලාපොරොත්තු වන වෙනස කිරීමට පාර්ලිමේන්තුවට වුවමනාවක් නැත.

මෙම වසරේ පාසල්වල පුංචි ‘පාර්ලිමේන්තු’ පිහිටුවීම විමසා බැලිය යුතු වන්නේ ‘පුංචි දූපතේ කුරුලු කතන්දරය’ ද සැලකිල්ලට ගැනීමෙනි.

‘පුංචි දූපතේ කුරුලු කතන්දරය’ සරසවි ප්‍රකාශනයකි. පාර්ලිමේන්තු මාධ්‍ය අංශය ප්‍රකාශ කළ පරිදි මහාචාර්ය ජේ. බී. දිසානායක සංස්කරණය කර ඇති මෙම ළමා කෘතිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිපුනි බලගමගේ, ඉෂාරා වික්‍රමසිංහ, රිශ්මියා නුටාන්, එස්. ජය ප්‍රකාශ්, මහේස්වරන් පිරසාත් සහ පී. රුද්‍රකුමාර් මෙම පොත භාෂා ත්‍රිත්වයෙන්ම රචනා කර ඇත. එය අගය කළ යුතුය. දරුවන්ට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ කිසිදු වරදක් නැත. ඇත්ත වශයෙන්ම එය පාර්ලිමේන්තුවේ වගකීමකි. නමුත් රට බංකොලොත් වනතුරු තම මූලික වගකීම් පැහැර හැරිය පාර්ලිමේන්තුව දරුවන්ට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියා දීමට කටයුතු කිරීම තේරුම් ගැනීම පහසුය. එය රාජ්‍ය නොවන සංවිධානයකින් ක්‍රියාත්මක ව්‍යාපෘතියකි. දැවැන්ත ව්‍යාපෘතියක කොටසකි.

පාර්ලිමේන්තුව ජාතික ප්‍රජාතන්ත්‍රවාදය ආයතනයෙන් මෙම ව්‍යාපෘතියට මූල්‍ය දායකත්වය ඉල්ලුවාද? නැතහොත් එම ආයතනය ‘පුංචි දූපතේ කුරුලු කතන්දරය’ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාද? මෙවැනි ව්‍යාපෘතියකට අවසර ලබා ගන්නා ක්‍රමවේදය කුමක්ද? පාර්ලිමේන්තුව රටේ ප්‍රමුඛතා හඳුනාගෙන තිබේද? දැන්වත් රටේ ප්‍රමුඛතා හඳුනා ගැනීමට පාර්ලිමේන්තුව අපොහොසත් වුවහොත් අතිශය අනර්ථකාරී මහජන නැගිටීමක් සිදුවීම වැළැක්විය නොහැක.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය අගෝස්තු 31 වන දින පාර්ලිමේන්තුවට කළ අනතුරු ඇඟවීම කථානායක ඇතුළුව සියලුම පක්ෂ, විපක්ෂ මහජන නියෝජිතයින් මතක තබා ගත යුතුය. යහපත් මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීම තුළ රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට දේශපාලන නායකත්වය (ආණ්ඩුව පමණක් නොවේ) කටයුතු කළ යුතු බවත්, එසේ නොවුණහොත් පැවැති රජය මුහුණ දුන් තත්ත්වයට වඩා භයානක සිදුවීම් ඇති විය හැකි බව අවධාරණය කළේය. කථානායකවරයාගේ ආරාධනයෙන් මහ බැංකු අධිපතිවරයා කළ අනතුරු ඇඟවීම පාර්ලිමේන්තුව වටහා ගෙන තිබේද? භූමියේ තත්ත්වය නිසි ආකාරයෙන් තේරුම් ගැනීමට ශක්තියක් පාර්ලිමේන්තුවට තිබුණා නම් මෙම අවස්ථාවේ ‘පුංචි දූපතේ කුරුලු කතන්දරය’ රාජ්‍ය නොවන ආයතනයක මූල්‍ය දායකත්වයෙන් එළි දක්වන්නේ නැත.

ඇත්තවශයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කියා ව්‍යුහයක් නැත. සමස්තයක් ලෙස සියලුම රාජ්‍ය නොවන සංවිධාන ආණ්ඩුවලින් අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා ගනී. එම තත්ත්වය ජාතික ප්‍රජාතන්ත්‍රවාදය ආයතනයට ද අදාළය. මූල්‍ය පහසුකම් සපයන ආණ්ඩු සහ එම ක්‍රියාවලිය තුළ කටයුතු කරන ජාත්‍යන්තර ව්‍යාපාරවල අවශ්‍යතා ඉටු කිරීමට එම රාජ්‍ය නොවන සංවිධාන බැඳී ඇත. මෙහිදී අවධාරණය කළ යුතු වන්නේ තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මූල්‍ය සහ දේශපාලනික මැදිහත් වීම් කරන්නේ බටහිර රටවල් පමණක් නොවන බවයි. චීනය සහ ඉන්දියාව කරන මැදිහත්වීම් සම්බන්ධයෙන්ද අවධානය යොමු විය යුතුමය.

කරු ජයසූරිය යහපාලන කථානායකවරයා ලෙස කටයුතු කරන සමයේ (2015-2019) ඔහු ඉන්දියාවෙන් කළ ඉල්ලීමකට නවදිල්ලිය අපවත්වූ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් සිහිවීම පිණිස අනුරාධපුරයේ ඇලපාතගම නඟා සිටුවීමට රුපියල් මිලියන 300 ලබා දුන්නේය.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදය ආයතනය කළ මූල්‍යම දායකත්වය මෙන්ම ඉහත සඳහන් කළ ඉන්දියානු සහ චීන පරිත්‍යාග ද විමසුමට භාජනය විය යුතු නොවේද?

කථානායකවරයාට තනි මතයට කිසිසේත් කටයුතු කළ නොහැක. පාර්ලිමේන්තුව කිසිදු ආකාරයකට විදේශීය ආණ්ඩුවකට හෝ රාජ්‍ය නොවන සංවිධානයක් සමග බැඳීමක් ඇති කර ගත යුතු නොවේ. අන්ත අසරණ බවට පත්වී ඇති ශ්‍රී ලංකාව විදේශීය බලවේගවල ගොදුරක් බවට පත්වී ඇත. ජාතික ප්‍රජාතන්ත්‍රවාදය ආයතනය බොහෝ රටවල ක්‍රියාත්මක ය. එහි ප්‍රධාන අරමුණක් වන්නේ නිදහස් සහ සාධාරණ ලෙස මැතිවරණ පැවැත්වීමයි. මැතිවරණ සිතියම නිසියාකාරයෙන් ක්‍රියාත්මක කිරීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම ලක්ෂණයක් බව අමුතුවෙන් කිව යුතු නැත. පළාත් පාලන සහ පළාත් සභා ඡන්ද ද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක අවස්ථාවන්ය. නමුත් පළාත් සභා ඡන්දය කඩාකප්පල් කර ඇත. එය යහපාලන මෙහෙයුමකි. පළාත් පාලන ඡන්දය ද දින නියමයක් නොමැතිව කල් දැමීමට රජය උත්සාහ කරන බවට විපක්ෂය කරන චෝදනාව සුළුකොට තැකිය නොහැක. එදා පළාත් සභා ඡන්දය කඩාකප්පල් කළ එජාපයේ සහ ශ්‍රීලනිපයේ කොටස් අද වික්‍රමසිංහ -රාජපක්ෂ රජය පළාත් පාලන ඡන්දය කල් දැමීමට කටයුතු කරන බවට කරන චෝදනාව ශ්‍රී ලංකා දේශපාලනය නිරුවත් කළ අවස්ථාවකි.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදය ආයතනය මෙම චෝදනාව සම්බන්ධයෙන් තම ස්ථාවරය ඉදිරිපත් කළ යුතුය. දරුවන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට උත්සාහ කරන ජාතික ප්‍රජාතන්ත්‍රවාදය ආයතනයට ඡන්ද නොපැවැත්වීම සම්බන්ධයෙන් නිහඬව සිටිය නොහැක.

පාර්ලිමේන්තුව දේශීය සහ විදේශීය පාර්ශ්ව සමඟ ගිවිසුම් ගතවීම ඉතාමත් ප්‍රවේසමෙන් කළ යුතුය. ආණ්ඩුව දේශීය සහ විදේශීය පාර්ශ්ව සමඟ ගිවිසුම් ගතවීමේදී ද කල්පනාකාරීව කටයුතු කළ යුතුය. ඒ අනර්ථකාරී අත පෙවීම්, බලපෑම් කිරීමට අවස්ථාව පිටස්තර පාර්ශ්වයන්ට ලැබෙන නිසාය.

යහපාලන පාර්ලිමේන්තුව කථානායක කරු ජයසූරිය ගේ නායකත්වය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීම ශක්තිමත් කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 13.7 (රුපියල් බිලියන 1.92) ගිවිසුමකට ඇමෙරිකාව සමග ගිවිසුම් ගතවිය. මෙම ගිවිසුම් ගතවීම පාර්ලිමේන්තුවේදී සිදුවිය. ඒ අනුව ගිවිසුම 2016 ඔක්තෝබර් 01 සිට 2019 සැප්තැම්බර් 30 දක්වා ක්‍රියාත්මක කළ ගිවිසුමෙන් පාර්ලිමේන්තුව හෝ ශ්‍රී ලංකාව අත්කරගත් ජයග්‍රහණයක් තිබේද? රට කඩා වැටී ඇත. ඇත්තවශයෙන්ම මෙම ක්‍රියාවලිය විගණනය කළ යුතුව තිබුණි.

වසර 7 කට පසුව ඇමෙරිකානු බදු මුලින්ම ‘පුංචි දූපතේ කුරුලු කතන්දරය’ පාර්ලිමේන්තුව හරහාම එළි දැක්වීම ඇත්තෙන්ම හාස්‍යජනකය.

ත්‍රස්තවාදය පරාජය කළ ජෙනරාල් සරත් පොර්ලිමේන්තුවේ පුස්තකාලය සහ දේශපාලන පක්ෂවල ප්‍රධාන කාර්යාලවලට ද මෙම කෘතිය ලබා දිය හැක. මීට පෙරද මෙම ලියුම්කරු අවධාරණය කළ පරිදි සියල්ලටම පෙර පාර්ලිමේන්තුව පුනරුත්ථාපනය කළ යුතුය. රට බංකොලොත් වී ඇති තත්ත්වයක් යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අයවැය සහ දැනට අයවැය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විවාදය උලුප්පා දක්වන්නේ සමස්ත ක්‍රියාදාමයේ විකාරී ස්වරූපයයි. ජනතාවට 225 ගැනම විශ්වාසයක් තබා ගත නොහැකි බවයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායකත්වය දරන හිටපු කථානායක කරු ජයසූරිය යහපාලන සමයේ ක්‍රියාත්මක කළ ඇමෙරිකානු ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාව අත්කර ගත් ප්‍රතිපල පෙන්වා දිය යුතුය. රුපියල් බිලියන 1.92 සුළුපටු මුදලක් නොවේ. හාස්‍යයට කාරණයක් වන්නේ එම තුන් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකාව පාර්ලිමේන්තුව සමග ගිවිසුම් ගත වූයේ ශ්‍රී ලංකා මහ බැංකුව දෙවරක් ‘මංකොල්ලකරුවන්ගේ’ ග්‍රහණයට ලක්වී ඇති තත්ත්වයක් තුළය.

එදා මහ බැංකු බැඳුම්කර වංචාව සිදු නොවූ බවට තර්ක කළ සියලුදෙනා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සමගි ජන බලවේගය හරහාය. බැඳුම්කර වංචාවට පහර පිට පහර දුන් කණ්ඩායම ද එජාප නායක රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන ආණ්ඩු පක්ෂ කණ්ඩායම නියෝජනය කරයි. එලෙසෙම එදා බැඳුම්කර වංචාවට එරෙහිවූ අනෙකුත් මන්ත්‍රීවරු අද සමගි ජන බලවේගය සමග අත්වැල් බැඳගෙන ඇත. මෙවැනි තත්ත්වයක් තුළ දූෂණයට, වංචාවට එරෙහිව දේශපාලන පක්ෂ ක්‍රියා කරාවිදැයි යන සැකය නිතැතින්ම ඇතිවේ.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෑතකදී එකිනෙකාගෙන් කළ ඉල්ලීම නැවත ජනතාවට මතක් කර දිය යුතුය. එදා කිව් කථා නැවත අසා බලන්න. සියලුම පක්ෂ නැවත නැවත හැරී බැලීමක් කළහොත්, තත්ත්වය කෙතරම් ජුගුප්සාජනකදැයි තේරුම් යනු ඇත.

විදේශීය බලවේග ශ්‍රී ලංකාව තුළ සාමය, යහපාලනය, වගවීම ඇතුළු නොයෙකුත් අරමුණු සාක්ෂාත් කර ගැනීමට අති දැවැන්ත ආයෝජන කර තිබේ. නමුත් ජනතාවට ලැබුණු දෙයක් නොමැත. ආහාර සුරක්ෂිතතාවය අහිමි කර ජනතාව දිනපතා විදුලි කප්පාදුවකට යටත් කර ඇති තත්ත්වයක් තුළ දරුවන්ට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියා දීම තවත් රැවටීමක් පමණක් නොවේද?

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment