පලස්තීන ජන සංහාරය වළක්වා ගැනීමට නොහැකිවීම මිනිස්කමටත් නිඟාවක් – ඉමිතියාස් බාකීර් මාකාර් (සජබ)

54

එදා මෙන්ම අදත් පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා – මහින්ද රාජපක්ෂ (ශ්‍රීලපොපෙ)

නෙතන්යාහුගේ රජයේ අන්තවාදී ත්‍රස්තවාදය හිට්ලර්ට එහා ගිය ත්‍රස්තවාදයක් – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

ඇමරිකාවත් ඊශ්‍රායලයත් කුරිරු යුද්ධයට තවත් උපකාර කරනවා – විජිත හේරත් (ජාජබ)

ජාත්‍යන්තර දේශපාලනයේ වුවමනාවන් සඳහා නිර්මාණය කර ඇති අමානුෂික ඛේදවාචකයක් අද අපි පලස්තීන භූමියේ දකිමින් සිටින බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා ඊයේ (14දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පලස්තීන අර්බුදය පිළිබඳ කල් තැබීමේ යෝජනාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් (සජබ) – පලස්තීනය තුළ සිදුවූ මහා ජන සංහාරය හා විනාශය සිදුවෙලා වසර 76ක් ගතවෙනවා. මැයි 15 දින ලොවපුරා පලස්තීනුවන් මිලියන 12ක් පමණ මෙම දිනය සමරනවා. මව්බිම අහිමිවීම හා ජීවිතවලට සිදුවන හානි සලකුණු කරනවා.

2023දී එ.ජා. මහා මණ්ඩලය පළමු වරට මැයි 15 මෙම සංවත්සරය සැමරීමට ඉඩ දී තියෙනවා. පලස්තීන ජාතිකයන් හත්ලක්‍ෂ පනස්දාහක් පමණ නිවෙස් වලින් එළවා දමා සරණාගතයන් බවට පත් කර තියෙනවා. 1998 දී 50 වන සංවත්සරය සමරද්දී හිටපු නායක යසර් අර්පත් ජාතික දිනයක් බවට මැයි 15 පත් කළා.

පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් (සජබ)

ගාසාවට ආහාරපාන, ජලය, බෙහෙත් ආදී අත්‍යාවශ්‍ය මානුෂික ආධාර ගෙන යන, දොරටු සියල්ල ඊශ්‍රායලය දැන් වසා දමා තිබෙනවා. වෛද්‍යවරියකවීමට ඉගෙන ගන්නාවූ අවසන් වසරේ ශිෂ්‍යාවක් කන කෑම, බොන වතුර සහ හරි නින්දක් ලැබිය නොහැකිව, කූඩාරම්වල ගත කරන තමන්ගේ ජීවිතය ගැන කියන කතාවක් මම ඊයේ දින සමාජ ජාලාවල දුටුවා.

කූඩාරම් අටවාගෙන, Rafah ජීවත්වන පහලොස් ලක්ෂයක් පලස්තීන ජනතාවට පසුගියදා Rafah වලින් පිටවෙන්නට ඊශ්‍රායල ආරක්ෂක හමුදා නියෝග නිකුත් කිරීම අප දුටුවා. දැන් බෝම්බ හෙලීම් ආරම්භ කෙරුණා. කුඩා දරුවන්, මහලු‍ උදවිය, ආබාධිතයින්, රෝගීන්, කාන්තාවන් කිසිදු වෙනසක් නැතිව පිටමන් කර තිබෙනවා. කලින් ආරක්ෂිත පළාත් ලෙස හැඳින්වූ ප්‍රදේශවලට යන්නට දුන් උපදෙස් අනුව වාසස්ථාන හැරදමා පැමිණි ඔවුන්ට දැන් නැවත පිටමන් වන්නට සිදුව තිබෙනවා. යන්නට දැන් ගාසාවේ ආරක්ෂිත පළාතක් ඔවුන්ට ඉතිරිව නැහැ.

මේ මොහොතේ ගාසාවේ තත්වය ගැන එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මැයි 12 වන දින නිකුත් කළ නිවේදනය ඇත්තෙන්ම වගකිවයුතු සැමගේ අවධානය යොමුකළ යුතු ප්‍රකාශයකි. කිසිදු රටක් මෙවැනි වි්‍යසනයක් තුළින් ආර්ථික වාසි ලබාගැන්මක් උදෙසා මුනිවත රැකීම සුදුසු ක්‍රියාවක් නොවේ. මෙවැනි යුධ අපරාධ, ජන සංහාරයන් හෙළා දැකීම මෙන්ම ඒවා නැවැත්වීමට අපේ ශක්ති ප්‍රමාණයෙන් සියළු දෙනා ප්‍රයත්න දැරිය යුතුව තිබෙනවා

වසර 76ක් තිස්සේ පලස්තීන භූමිය තුළ දියත් කර ඇති ජනසංහාරයන්, පිටුවහල් කිරීම්, වාසස්ථාන බලහත්කාරයෙන් උදුරා ගැනීම්, දේපල හා වගා විනාශයන් සහ ඝාතනයන් ඇතුළු මේ ඛේදවාචකය සිහිපත් කරන ඛේදවාචකයේ දිනය හෙවත් නක්බා දිනය හෙටට යෙදී තිබෙනවා. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයද පලස්තීනුවන්ගේ මෙම සාමූහික ඛේදවාචකයේ දිනය පිළිගෙන එය සැමරීම සිදුකරනවා.

පලස්තීනයේ ඛේදවාචකයේ මූල හේතුව යටත් විජිතවාදයයි. පලස්තීන ජනතාවගේ කැමත්තකින් තොරව එම භූමියේ 95%ක්ව සිටි පලස්තීනුවන්ට එම භූමිය අහිමි කරමින්, ඔවුන් ලක්ෂ ගණනින් සරණාගතයින් කරමින්, ඝාතනය කරමින්, සිදුකරමින් සිටින මේ ඛේදවාචකයේ නිමාවක් දැකීමට අද ලෝකය පුරා ඇතිව ඇති පෙළගැස්මට, කිසි කලෙක නොවූ අයුරින් යුදෙව් ජනතාවද එක්ව සිටීම අප දකිනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා (ශ්‍රීලපොපෙ)

එදා පලස්තීන ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානයේ ආරම්භක සභාපතිවරයා වශයෙන් පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් හඬක් නගන්න අපට පුළුවන් වුණා. එදා පටන් අපි පලස්තීනය වගේම ඒ ජනතාව වෙනුවෙන් අද දක්වාම පෙනී සිටින බව ඔබට සිහිපත් කරන්න කැමතියි.

අපි දන්නවා රටක් විධියට නොබැඳි පිළිවෙතක සිටියත්, ලෝක සමාජ සාධාරණත්වය දෙස බලා මෙම අර්බුදය හැකි ඉක්මනින් විසඳාගැනීම සඳහා ඊට මැදිහත්වී සිටින සියලු‍ පාර්ශව වෙත රටක් විධියට අපි බල කළ යුතුයි. මට මතකයි එදා රාජ්‍ය නායකයා විධියටත් අවස්ථා ගණනාවක දී එක්සත් ජාතීන්ගේ සමුළුව ආමන්ත්‍රණය කරමින් පලස්තීන ජනතාවට ලැබිය යුතු ස්වාධීනත්වය සහ නිදහස සම්බන්ධයෙන් මම ලෝක නායකයන්ගේ අවධානය යොමු කළා. ඒ වෙනුවෙන් රාජතාන්ත්‍රික මට්ටමෙන් මැදිහත්වීම් පවා සිදු කළා.

ඒ විතරක් නෙමෙයි 2014දී පලස්තීනයේත් ඊශ්‍රායලයේත් සංචාරය කරමින් ඔවුන්ට සාමය උදාකිරීමට අවශ්‍ය මාවත සම්බන්ධයෙන් දෙරටේම රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කරන්න පවා මට හැකියාව ලැබුණා.

හැබැයි මෙම අර්බුදය සම්බන්ධයෙන් ඉතා සියුම්ව අධ්‍යයනය නොකර ඊට විසඳුමක් සෙවීම ඉතාම අපහසු දෙයක්. ඉතා සංකීර්ණ හා සංවේදී කාරණා මෙම අර්බුදය පිටුපස තිබෙනවා. ඒ කෙසේ වෙතත් යුද්ධය මෙම අර්බුදයට විසඳුම නොවන බව අපි තරයේ ප්‍රකාශ කළ යුතුයි.

අද ගාසා තීරයේ තත්ත්වය ඉතා ඛේදනීයයි. අවුරුදු තිහක යුද්ධයකට මැදිවුණු අපට මේ තත්ත්වය අද හොඳින් තේරුම් ගන්න පුළුවන්. මේ යුද්ධය නිසා වැඩිහිටියන් පමණක් නෙමෙයි හය හතර නොදත් කුඩා දරුවන් විශාල සංඛ්‍යාවක් දිනපතා මියැදෙනවා. තවත් විශාල පිරිසත් තුවාල ලබනවා. ප්‍රහාරයකින් අනතුරුව කොන්ක්‍රීට් පතුරුවලට යට වුන පලස්තීන දැරියක් මුදාගන්න වීඩියෝවක් ඊයේ දිනයේත් ජාත්‍යන්තර මාධ්‍යවල කතාබහට ලක් වුණා. ඒ වීඩියෝව නරඹන ඕනෑම අයෙකුට මනුෂ්‍යත්වයේ නාමයෙන් නෙතට කඳුලක් උනන බව රහසක් නෙමෙයි. මේ වගේ සිදුවීම් අද පලස්තීනයට සාමාන්‍ය සිදුවීමක් වන තරමට මෙම ප්‍රහාර ඔවුන්ගේ ජන ජීවිතය මුළුමනින්ම අඩාල කර තිබෙනවා. මේ තත්ත්වය තේරුම් අරගෙන ලෝක නායකයන් හා සංවිධාන එක්ව වහාම මේ සඳහා කඩිනම් පියවරක් ගත යුතුයැයි අපි රටක් විධියට ලෝකය ඉදිරියේ බල කළ යුතුයි.

මෙම දුෂ්කර අවස්ථාවේ අපට කළ හැකි මැදිහත්වීම කරමින් පලස්තීනජනතාවට තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් කටයුතු කරන්නැයි රජයෙන් අපි ඉල්ලා සිටිනවා. මුළු ලෝකයටම වැදගත් මෙවැනි පූජනීය භූමියක් අති අමානුෂීය ඝාතන සිදුවන මානව හිමිකම් උල්ලංඝනයවන යුද බිමක් හෝ ලේ විලක් බවට පත්වනු දැකීම මිහිපිට කිසිම මිනිසෙකු අනුමත නොකරනු ඇතැයි අපි තරයේ විශ්වාස කරනවා. ඒ නිසා පලස්තීනුවන්ගේ අල් අක්සා මුස්ලිම් දේවස්ථානය මෙන්ම කිතු උපත සිදු වූ බෙත්ලෙහෙම පිහිටි මේ ශූද්ධ භූමියට ඉතා නොබෝ දිනකින් සාමය උදාවේවා ! යැයි අපි සියලු‍ දෙනා එක්ව ප්‍රාර්ථනා කරමු.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ මොහොත වන විටත් දහස් සංඛ්‍යාත පලස්තීන ජනතාව දැවැන්ත රාජ්‍ය ත්‍රස්තවාදයකට මුහුණ දෙමින් සිටිනවා. එදා හිට්ලර් ක්‍රියාත්මක කළ මිනීමරු රාජ්‍ය ත්‍රස්තවාදය වගේම ක්‍රියාවක් අද ඊශ්‍රායලය පාලනය කරන මිනී මැරුම් ත්‍රස්තවාදය මුදුන් පමුණුවාගත් රජය පලස්තීන ජනතාව වෙත එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරය සියලු දෙනා තරයේ හෙළා දකිනවා.

රාජ්‍ය ත්‍රස්තවාදය වහා නැවැත්විය යුතුයි. ඒ සඳහා අපට ගත හැකි හැම පියවරකටම ලොව සියලු රටවල් එක්ව කොන්දේසි විරහිතව සහාය දැක්විය යුතුයි. හැමෝම මැද තැනකට ඇවිත් විසඳුමක් ලබාදිය යුතුයි. ඒ සඳහා ඉඩ ලබා දුන්නා, නමුත් අද නෙතන්යාහු අගමැති ඇතුළු රජය අන්තවාදී ස්ථාවරයක සිටිමින් කරන ත්‍රස්තවාදය හිට්ලර්ට එහා ගිය ක්‍රියාවක්. අපේ ස්ථාවරය එයයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ) – පලස්තීන ජාතිකයන් වසර 76ක සිටම මැරි මැරී ජීවත් වන්නේ. මේ යුද්ධය දිගින් දිගටම යනවා. එ.ජා. සංවිධානය විවිධ තීන්දු තීරණ ගන්නවා. ඒත් ඇමරිකාවත් ඊශ්‍රායලයත් එයට විරුද්ධව කුරිරු යුද්ධයට තවත් උපකාර කරමින් යනවා. ලොව බහුතරයක් රටවල් සටන් විරාමයකට යා යුතු බවට එ.ජා. සංවිධානය හමුවේ යෝජනා කර තිබුණා.

කාන්තාවන්, පුංචි දරුවන්, වයසක අය ඉතා ම්ලේච්ඡ ලෙස අමු අමුවේ මරා දානවා. අද පලස්තීනය ලේ විලක් බවට පත්වෙලා. පලස්තීනයට හිමිව තියෙන ඉතිරි බිම්කඩත් ලබා ගැනීමට පලස්තීනය දිගින් දිගටම ක්‍රියා කරමින් ඉන්නවා. එ.ජා. මණ්ඩලය මොන තීරණ ගත්තත් ඒවා තඹයකටවත් ගනන් ගන්නේ නැතිව ඊශ්‍රායලය ඇමරිකාවේ ආශීර්වාදය ඇතිව තම ක්‍රියාව දිගටම කරගෙන යනවා. වහාම යුද්ධය නවත්වල සටන් විරාමයකට යන්න කියලා සියලු පක්‍ෂ එක්ව පාර්ලිමේන්තුව අවධාරණය කරනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක (සජබ) –

අද වනවිට චීනයෙන් රුසියාවෙන් අනෙකුත් බලගතු රටවලට අභියෝග එල්ලවෙලා. මේ ගැටුම් යටින් යන සීතල යුද්ධයකට මඟපෙන්වීමක්. තවදුරටත් පලස්තීන ගැටුම හුදෙකලා ගැටුමක් නොවෙයි. අද පලස්තීන ජනතාව අසීමාන්තික දුකක් විඳිනවා. ඔවුන්ගේ නිදහස වහා ඇති කළ යුතුයි. අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන ඔවුන්ට ලබා දීමට වහා බලගතු රාජ්‍ය හා සංවිධාන මැදිහත් විය යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ (ශ්‍රී.ල.පො.පෙ.) –

පලස්තීනුවන්ගේ ප්‍රශ්නයයි ලංකාවේ අපි මුහුණ දීපු ප්‍රශ්නයයි හරයාත්මකව සමානයි. ඓතිහාසිකව පලස්තීනුවන්ට අයිති වී තිබූ භූමිය තුළ යුදෙව්වන් බලහත්කාරයෙන් රාජ්‍යයක් නිර්මාණය කළා. දෙමළ ජනතාව ලොව පුරා විසිරී ජීවත් වෙනවා. ද්‍රවිඩ ආර්ය භාෂාව ගොඩනැඟුණේ දකුණු ඉන්දියාව මුල්කරගෙන. බි්‍රතාන්‍යයන් නිදහස ලබාදී යනවිට හිටපු දමිළ නායකයන්ට පොරොන්දුවෙලා ගියා දමිළ ජාතියට ලංකාවේ භූමියක් ඇතිකර දෙන්නම් කියලා. වැරදිලාවත් හමුදාව එල්ටීටීඊය පරාජය නොකළා නම් දකුණු ආසියාවේ නිර්මාණය වන ඊශ්‍රායලය තමයි ඊළම. අද මැදපෙරදිග තියෙන ඊශ්‍රායලය තමයි ගාසා වැසියන්ට පහර දෙන්නේ. ඇමරිකාව බොරු කිඹුල් කඳුළු හෙළමින් ආයුධ තොග පිටින් ඊශ්‍රායලයට සපයනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment