රට පැන්න මත්ජාවාරමාගේ ගෝලයෝ 2ක් සැකපිට දැලේ
තියුණු ආයුධවලින් පහර දී පුළුස්සා ඝාතනය කරන ලද තරුණයකුගේ මළසිරුරක් ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී සොයාගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් විදේශගතව සැඟව සිටින අයි. ඩී. නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතයන් දෙදෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්මලාන මහින්දාරාම පාරේ පදිංචිව සිටි කාවින්ද ගයාෂාන් රණවක නොහොත් ටිකිරා නමැති 23 හැවිරිදි තරුණයෙකි. තම පුතු අතුරුදන් බවට මියගිය පුද්ගලයාගේ මව විසින් 29 දා රාත්‍රී ගල්කිස්ස මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
ඒ අතරතුර ‘මොරටුව පාතාලයේ ’ නමින් තිබෙන සමාජ මාධ්‍යයේ ද මෙම ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව ප්‍රසිද්ධ කර තිබූ බවත් ඒ ඔස්සේ පොලිසිය විමර්ශන සිදු කරමින් සිටියදී මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා වෙත ලද තොරතුරකට අනුව මළසිරුර සොයා ගෙන ඇත.
මෙම පුද්ගලයා කිසියම් ප්‍රදේශයක සිට ත්‍රිරෝද රථයකින් පැහැරගෙන මෙම ස්ථානයට රැගෙන විත් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර අනතුරුව මුහුණ ඇතුළු ශරීරයේ ස්ථාන කීපයක් පුළුස්සා දමන්නට ඇති බවටත් පොලිසිය සැක කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධව සිටි බව කියන මෙම පුද්ගලයා අවස්ථා කීපයකදීම පොලිස් අත්අඩංගුවට පත්වූ අයකු බවත් දැඩිව අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවකු බවත් පොලිසිය සඳහන් කරයි.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අයි.ඩී. නමැත්තාගේ සමීපතමයකු ලෙස කටයුතු කර ඇති මෙම තරුණයා ඔහුගෙන් දුරස්ව එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධන්ධ පුද්ගලයන් පාවාදීම ඝාතනයට හේතුවන්නට ඇති බව ද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් මෙම ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වෙතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් රණවීර මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදු කෙරේ.
එස්. ඩී. අබේසිංහ – මහරගම