ශාස්ත්‍රපති නර්තන කලාශූරි, ප්‍රවීණ නාට්‍යවේදිනි, විශාරද, අධ්‍යක්ෂිකා තෙල්මා මේඩිස් විසින් පිටපත් රචනය කොට අධ්‍යක්ෂණය නිෂ්පාදනය කරනු ලබන පර්යේෂණාත්මක ස්වතන්ත්‍ර වේදිකා නාට්‍ය Reurrection of කුවේණි’ (කුවේණියගේ ප්‍රත්‍යාගමනය) වේදිකා නාට්‍ය නිර්මාණය එළැඹෙන 22 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වේ. තෙල්මා මේඩිස් සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි.
ඔබ නිර්මාණය කළ ‘කුවේණි’ වේදිකා නාට්‍යය වේදිකාගත කරන්න සූදානම් වෙනවා නේද?
‘කුවේණි’ වේදිකා නාට්‍යය මැයි මාසේ 22 වැනිදා සවස 2.30 ට සහ 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කරනවා. එතකොට මෙහි නම භාවිතා වෙන්නේ Reurrection of කුවේණි කියලා. මේ නාට්‍යයට පාදක වෙන්නේ පර්යේෂණයක්. කුවේණිය පිළිබඳ අපි ඉතිහාසයේ දැකලා තිබෙන හා අහලා තිබෙන මූලාශ්‍රවලින් එහාට ගිහිල්ලා මේක මගේ අධ්‍යාපන කටයුත්තටත් සිද්ධවෙමින් තිබෙන දෙයක්. කුවේණිය කියන්නේ ඇත්තටම කවුද?. ඇය මහා වංශය වගේ කියන්නේ ඇත්තටම කවුද?. ඇය මහා වංශය වගේ පහළට ඇද දමපු ගැහැණියක්ද?. ගල්මුගුරු ගහලා විනාශ කරපු කෙනෙක්ද?. අපේ මිනිස්සු පාවලා දුන්නු කෙනෙක්ද? කියන කාරණා මට ඔළුවට ආවා.
මම කුවේණි කියන චරිතයට හරි කැමැතියි. ඒක දැනෙන්න ගත්තේ මම හෙන්රි ජයසේන මහත්මයාගේ කුවේණි නිර්මාණයේ රඟපාද්දී. එහිදී මට ඇය සම්බන්ධයෙන් පුදුමසහගත අනුකම්පාවක් ආවා. ඇත්තටම කුවේණිය මේ තරමට අවාසනාවන්ත හෝ අපේ රට පාවලා දුන්නු ගැහැණියක්ද? කියන තැනට ආවා. ඉතිං ඒ නිසා මම ඇය ගැන ගොඩාක් තොරතුරු විමසන්න ගත්තා. හොඳ පෞර්ෂයක් තිබෙන කාන්තාවක් තමයි ඉතිහාසය විසින් සඟවලා තිබෙන්නේ. ඇත්තට ඇය විශාල පෞර්ෂයක් තිබෙන ඒ කාලයේ හිටපු සේනාධි නායිකාවක්. ඇත්තටම ඇයගේ නම පවා කුවේණිය කියලා විකෘතියට පත්කරලා තියෙනවා. ඇත්තටම ඇගේ නම කුවේණි නෙමෙයි. මහාපාලි නැතිනම් මහීපාලි. එතකොට මේ මහීපාලි රැජන නැවත අපේ රට තුළ කුවේණි කියන කාන්තාවටම විවිධ අර්ථකථන තිබෙනවා. කුවේණි කියන නම අපට මුලින්ම මුණගැසෙන්නේ විජය කුවේණි කතාව හරහායි.
මෙවැනි වේදිකා නාට්‍යයක් වේදිකාවට රැගෙන ඒම ලෙහෙසි නෑ. ඒ අභියෝගය ජයගත්තේ කොහොමද?
මම මෙහි ගොඩාක් මූලාශ්‍ර අදටත් සොයමින් සිටින්නේ. ඇත්තටම මගේ පශ්චාත් උපාධිය දක්වා රැගෙන යන්න කැමැති පර්යේෂණයක්. එතකොට මට මේ වැඩේදී අභියෝග තිබෙනවා. මම මේ සඳහා විවිධ ස්ථානවලට යනවා. කුවේණිය ස්පර්ෂ කළ භූමිවලට මම දැන් යන්න පටන් අරගෙන තිබෙන්නේ. මහාවංශයට පෙර ඉතිහාසය ලියපු ආචාර්යවරු අංගම්පොර ශාස්ත්‍රයත් සමග ජීවත්වන ගුරුන්නාන්සේලා වගේ හැම එක්කෙනාගේම දේවල් මම මේකට උපයෝගි කරගන්නවා. ඒක පුදුමාකාර විදිහට වටිනවා.
මෙම වේදිකා නාට්‍යය රට වටා ගෙනියන්න අදහසක් තියෙනවාද?
ඔව්. ඒක ඇත්තටම රට වටා ගෙනියන්න ඕනෑ. හැබැයි මේකේ රංග ක්‍රමය ගැන කතා කළොත් අපි මේක කරන්නේ සමකාලීන රංගක්‍රමය ඔස්සේ. අපි ගත්තොත් එහෙම විදෙස් රටවල බ්‍රෝඩ්වේ කියන අදහස. ගොඩක් තාක්ෂණය භාවිතාව, චලන, අභිනය වගේ දේවල් භාවිතා වෙනවා. ඒ වගේම මම මෙහිදී ගොඩක් භාවිතා කරනවා ෆිසිකල් තියටර් කියන කලාව. එතකොට මේ සඳහා අපි අවුරුද්දක් තිස්සේ කලාකරුවන් පුහුණු කරලා පසුගිය ජනවාරි 10 වැනිදා මංගල දර්ශනය පැවැත්වූවා. එළැඹෙන 22 වැනිදාට පෙන්වන්නේ දෙවැනි වතාවට. මංගල දර්ශනයට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා. මේක ඇත්තටම අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න පුළුවන් නිර්මාණයක්. මේ නිර්මාණය හැම වේදිකාවකම පෙන්වන්න අමාරුයි. ඇත්තටම මේක සාමාන්‍ය නාට්‍යයක් නෙමෙයි.
මෙවැනි නිර්මාණයක් කරන්න වේදිකා පහසුකම් තියෙනවාද?
ලංකාවේ ඇත්තටම බැලුවොත් වේදිකාවල් අඩුයි. ටවුන්හෝල්නේ තියෙන්නේ. ටවුන්හෝල් කියන්නේ ශාලානේ. සමහර අවස්ථාවලදී ඉඩකඩ පහසුකම් කලාකරුවන්ට අවශ්‍ය ශාරීරික සහ මානසික සුවයක් තියෙන සහ මේ සඳහා සූදානම් වීමේ පරිසරයක් තිබිය යුතුයි. හරිහමන් පහසුකම් නොමැති ශාලාවල නාට්‍ය පෙන්වන්න අමාරුයි. මොකද අපිට පෙර පුහුණුවීම් සිදුකරද්දිත් ඒ ගැටලුව ආවා. මේ සඳහා තිස්දෙනකුගෙන් යුත් පිරිසක් රංගනය සඳහා දායක වෙනවා. එතකොට කොළඹ අවට පෙර පුහුණුවීම් සිදුකරන්න හරි හමන් තැනක් නැහැ. සමහර පෙර පුහුණුවීම් සිදුකරන්න තිබෙන ස්ථානත් හරි ගණන්. වේදිකා නාට්‍යයක් කරන්න අවශ්‍ය මූලික පහසුකම් ටිකවත් ඇත්තටම නැහැනේ. දැනටත් මගේ මේ නිර්මාණය මගේ තියෙන ශාලාවේ පුහුණුවීම් සිදුකරලා ලොකු මුදලක් ගෙවලා වේදිකාවක් අරගෙන පුහුණුවීම් සිදුකරනවා. පෙර පුහුණුවීම් සිදුකරද්දී රඟහලක් ගන්න ගියහම ලොකු මුදලක් අය කරනවා. ඇත්තටම එල්ෆින්ස්ටන් එක ගත්තහම පැයකට රුපියල් තුන්දහසක්. එතකොට අපිට දවසෙම එල්ෆින්ස්ටන් එකේ පුහුණුවීමක් සිදුකරන්න බැහැනේ. අපේ රංග කලාව ඇතුළේ ඉන්න අධ්‍යක්ෂවරයාට නැතිනම් නිර්මාණකරුට හොඳ වපසරියක් තිබ්වොත් විතරයි වැඩක් කරන්න පුළුවන්. කොච්චර දක්ෂ වුණත් හොඳ නිර්මාණයක් කරන්න අමාරුයි. මොකද ආර්ථික තත්ත්වයත් බලපානවා.
දිනේෂ් විතාන