ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණය ගැන තීරණාත්මක සාකච්ඡා රැසක් තැන තැන පැවති තවත් සතියක් ගෙවී ගියේය. ඒ සාකච්ඡාවල ප්‍රගතිය කොයි තරම් ද යත් ලබන ඔක්තෝම්බරය වන විට නිසැකවම ජනාධිපතිවරණය පැවැත්වේද නැද්ද යන ප්‍රශ්නයටත් හරි උත්තරයක් සොයාගත නොහැකි විය.

රනිල්ගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටු සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂට විරෝධය පාමින් නිමල් ලන්සලා අනුර යාපලා මතු කළ විරසකයෙන් පසුව ජනාධිපති රනිලුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර තිබූ හොඳ හිත සම්පූර්ණයෙන්ම පළුදු වී ගියේය. කවර හෝ එකඟතා මත එකට එක්ව ඉදිරියේදී වැඩ කිරීමටත් ඇති කරගෙන තිබූ අවසන් එකඟතාවයත් ඒ පලහිලව්වෙන් පසු අහෝසි වී ගියේය.

දැන් රාජපක්ෂලා එක් වී පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් දාන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු බලවේග සමග සාකච්ඡා කර අවසන්ය. තත්ත්වය යම්කිසි සුභවාදී තැනකින් පාලනය කරගෙන පවතින ප්‍රශ්න විසඳා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැරූ උත්සාහයන් සියල්ලම පසුගිය සති දෙක තුන තුළ අසාර්ථක වී ගියේය. අවසානයේ දෙපාර්ශ්වය තල්ලු වී ගියේ ජනාධිපති රනිල් තමන්ට සහාය දෙන අනෙකුත් අවශේෂ පාර්ශ්වයන්හි සහයෝගය ඇතිව වෙනම ඉල්ලීමටත් පොදුජන පෙරමුණ තමන්ගේ ප්‍රතිපත්ති හා දර්ශනය මත පදනම්ව වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමටත්ය.

දේශපාලන නිරීක්ෂකයන් මේ පලහිලව්වෙන් පසුව විශ්වාසය පළ කළේ එවන් තත්ත්වයක් ඇති වුවහොත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ජයග්‍රහණය කිරීම සඳහා හොඳ අවස්ථාවක් නිර්මාණය වී පවතින බවයි. පසුගිය සතියේ දේශපාලන කරළියේ සාකච්ඡාවට බඳුන් වූ වැදගත්ම කාරණාව එයයි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන පාර්ශ්ව දෙක අතර ඇති වූ අර්බුදය හා විරසකය මත අපහසුතාවයට පත් වූ පාර්ශ්ව මෙන්ම සතුටු වන කණ්ඩායම් ද මේ අතර සිටියහ. පසුගිය දින කීපය තුළ ඔවුන්ට කාර්ය කටයුතු බහුල වූහ. ඊට හේතුව උදා වී තිබෙන අවස්ථාවෙන් නිසි ඵල ප්‍රයෝජන ලබා ගැනීමට නම් විපක්ෂය බෙදී වෙන් වී කෑලි කැඩී සිටීම නොව, අවම එකඟතා මත හෝ එකට එක් වී කටයුතු කිරීම වාසිදායක බව ඒ සියලු දෙනා වටහාගෙන තිබීම නිසාය. එබැවින් පසුගිය සතිය විපක්ෂයේ කණ්ඩායම් අතර සාකච්ඡා බහුල වූ සතියක් ලෙස වාර්තා වූහ.

මාතර රැලියෙන් පොහොට්ටුවට පණිවිඩයක්

මේ අතරතුර පසුගිය සති අන්තයේ මාතර පැවැති කාංචන විජේසේකර සංවිධානය කළ දේශපාලන රැලිය දේශපාලන කරළියේ කැපී පෙනෙන තීරණාත්මක කාරණාවක් විය.

පළමුවෙන්ම කාංචන විජේසේකර මෙම රැලිය ගැන පොහොට්ටුවේ බලධාරීන් දැනුවත් කර තිබුණේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ ජනතාවට පෙන්වන සංවර්ධනාත්මක රැලියක් ලෙසයි. එය කිසිසේත්ම ජනාධිපති අපේක්ෂක රනිල්ගේ ප්‍රචාරක රැලියක් ලෙස සංවිධානය නොවන බව ඔවුන්ගේ තර්කය වූහ.

මේ නිසා පොහොට්ටුවේ බලධාරීන්ට කාංචනගේ මාතර රැලිය තහනම් කරන්නට හෝ ඊට විරෝධය දක්වන්නට හේතුවක් නොවීය. කාංචන එය නම් කර තිබුණේම “එක්ව ජයගමු – අපි මාතර” යන තේමාව යටතේය. වචනවලින් එය කෙසේ හැඳින් වුවත් ක්‍රියාවෙන් නම් එය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ කැම්පේන් එකේ කොටසක් බව වටහා ගන්නට කිසිදු අවහිරතාවක් නොවීය.

පොහොට්ටුවේ බහුතරයක් මන්ත්‍රීවරුන්ට මෙම රැලියට එන්නැයි ආරාධනා කර තිබුණත් පැහැදිලිවම ඊට සහභාගි වී සිටියේ කාංචන විජේසේකර, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග ඇතුළු කීපදෙනෙක් පමණි. අනික් බහුතරයක් දෙනා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මෙහෙයුම්වල කොටස්කරුවන් වූහ. සාගල රත්නායක මෙහිදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරමින් සිටියේය.

කාංචන රැලියේ නිවේදන කටයුතු භාර කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවන් රැස්වීම් නිවේදනය කරන නිවේදකයා වන සුරේෂ් තාරක නම් තරුණයකුටය. ඔහු එම රැස්වීමට යන බව පොහොට්ටුව දැනුවත් කර නොතිබීම නිසා ප්‍රශ්නයක් මතු විය.

අවසානයේ පොහොට්ටුවේ නායකයෙක් ඔහුට කතා කර රැස්වීමේ නිවේදන කටයුතුවලින් ඉවත් වන්නයි දන්වා ඇති බව කාංචනට වාර්තා විය.

කෙසේ වෙතත් ප්‍රසන්න, මහින්දානන්ද, කාංචන වැනි අයගේ මැදිහත්වීම මත එම තරුණයා දිගින් දිගටම රැලියේ නිවේදන කටයුතු කරමින් සිටියේය. රැස්වීමට සැලකිය යුතු විශාල ජනකායක් පැමිණ මාතර කොටුව අබියස සනත් ජයසූරිය ක්‍රීඩාංගණය පිරී ගොස් තිබූ බව වාර්තා විය.

රැස්වීමට කොළඹ සිට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහට හා ප්‍රධාන කථිකයන් කිහිප දෙනකුට දිවා ආහාරය සූදානම් කර තිබුණේ කාංචන විජේසේකරට අයත් කොටුව නිවසේය. ඒ අවස්ථාවේ එතෙන්ට ජනාධිපති රනිල්, කථානායක මහින්ද යාපා, සාගල, හරින්, මනූෂ, මහින්දානන්ද, ප්‍රේමනාත් සී. දොලවත්ත ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. මාතර රැලියේ සංවිධාන කටයුතු පමණක් නොව ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ පවත්වාගෙන යන ආකාරය ද එහිදී කතාබහට ලක් විය. කාංචන ඔවුන් වෙනුවෙන් ඉතා හොඳ දිවා ආහාර වේලක් සූදානම් කර තිබීම විශේෂත්වයකි.

රැලිය අවසන්වූ පසු පැමිණි මන්ත්‍රීවරුන්ට හා ආරාධිත අමුත්තන්ට තේ පැන් සංග්‍රහයක් සූදානම් කර තිබුණේ මාතර තානායමේය. මන්ත්‍රීවරුන් අතර ඇතිවූ අල්ලාප සල්ලාපයේදී ඇමැති අලි සබි්‍ර “පළමු රැස්වීම මාතර ගත්ත එක හොඳයි. මහින්ද සුළඟ නුගේගොඩින් පටන් ගත්තා වගේ රනිල් සුළඟ මාතරින් පටන් ගත්තා” යැයි කියද්දී සියල්ලෝම හිස සලන්නට වූහ.

“නුවර රැස්වීමටත් මේ වගේම ඔබතුමන්ලා එන්න ඕනේ. ඇවිල්ලා උදව් කරන්න ඕනේ” යැයි ඇමැති මනුෂ කියද්දී ඇමැති රමේෂ් හා ඇමැති සබි්‍ර සියල්ලෝම අනිවාර්යෙන්ම පැමිණෙන බව කීහ. එවිට සැවොම ඇමැති ප්‍රසන්න රණතුංග සොයද්දී මහින්දානන්ද මන්ත්‍රීවරයා කීවේ ඔහු මීරිගම තිබෙන පොහොට්ටු රැස්වීමට ගිය බවකි.

සිය කථාව අවසන් කළ ප්‍රසන්න මීරිගම පොහොට්ටු සමුළුවට ඒමට පිටත් වූයේය. ඒ වනවිට එය ආරම්භ වී තිබුණි. කෝකිලා විනාඩි 5න් 5ට ප්‍රසන්නට කථා කරමින් කීවේ “කවුරු ආවත් වැඩක් නෑ සර් කීයට හරි මේකට එන්න ඕනෙ” කියාය. නාමල්ගේ ප්‍රධානත්වයෙන් පැවති මීරිගම පොහොට්ටු සමුළුවට විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

නාමල් සිය කථාව අවසන් කර කෝකිලා අසලට ගොස් “මන්ත්‍රීතුමිය මම එහෙනම් යන්නම්, හිරියාල රැස්වීමට යන්න ඕනෙ” නාමල් කීවේය.

“ප්‍රසන්න ඇමැතිතුමා මග එනවා… වේයන්ගොඩ හරියේ..” කෝකිලා නාමල්ට කීවේය.

“ආ… ප්‍රසන්න අයියා එනවද? එහෙනම් මම ටිකක් ඉන්නම්” නාමල් යන්නට ගොස් ආපසු ඇවිත් නැවත වාඩි වූයේ ඇමැති ප්‍රසන්න එනතුරුය.

කෝකිලා ඒ මොහොතේම නැවත ප්‍රසන්නට ඇමතුමක් ගත්තේය. “සර් එනකන් නාමල් ඇමැතිතුමා ඉන්නවා.” ඇය කීවේය. “නෑ… නෑ…. නාමල් මල්ලිට යන්න කියන්න. හිරියාල යන්නත් එපා යෑ…” කියූ ප්‍රසන්න කෝකිලාගේ දුරකථනයෙන්ම නාමල්ට කීවේ “මල්ලි ඔයා යන්න… සුමිත් බලාගෙන ඇති” කියාය. ඒ අතරතුර සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරයාගෙන් ද නාමල්ට දුරකථන ඇමතුමක් ආවේය. ඒ අනුව නාමල් මීරිගමින් පිටත්වූයේ නැවතත් ඇමැති ප්‍රසන්නට ඒ බව කියමිනි.

නාමල් පිටව ගොස් විනාඩි කීපයක් ඇතුළත ඇමැති ප්‍රසන්න මීරිගම රැස්වීම් භූමියට ආවේය. ඇමැතිවරයාට පාක්ෂිකයන්ගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි.

අපේකම රැකගන්න පොහොට්ටුවෙන් එන්න

මාතර රැලියෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු සංඥාව තේරුම් ගත් පොහොට්ටුවේ නායකයෝ එම පසුබිමේම රැස්වී අලුත් දේශපාලන තත්ත්වය ගැන වෙනම සාකච්ඡා කරන්නට වූහ. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතුව ඔවුන්ගේ හයියෙන් ආණ්ඩුව පවත්වාගෙන යන අතරතුර පොහොට්ටුවේ පතුරු ගැලවීමට රනිල් පාර්ශ්වයේ ඇති සූදානම ගැනද ඔවුන්ට හොඳ තක්සේරුවක් තිබිණි. ඉදිරියේදී ජනාධිපතිවරණ ව්‍යාපාරය තමන්ට වෙනම පවත්වාගෙන යෑමට සිදුවන බවට දැන් ඔවුන්ට සැකයක් නොවීය. ඒ වන විටත් ඔවුන් පොහොට්ටුවේ ආසන බල මණ්ඩල රැස්වීම් දිවයින පුරාම පවත්වන්නට තීරණය කර තිබිණි. ආසන බල මණ්ඩල රැස්වීම්වලට නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්, ජොන්ස්ටන්, රෝහිත, තිස්ස කුට්ටි යන අය තරුණ පෙළ නියෝජනය කරමින් කථිකයින් ලෙස සහභාගි වන අතර ඒ ඒ ප්‍රදේශවලදී ඒ ඒ පළාතේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ සහය ගන්නා ආකාරය ගැනද වෙනම වැඩපිළිවෙළක් ඔවුන්ට තිබිණි.

ආසන බල මණ්ඩල රැස්වීම් සඳහා පිටතින් සෙනඟ ඒකරාශී නොකර එම ප්‍රදේශයේම බලමුළු රැස්කරවීමට අවශ්‍ය බව බැසිල් ගේ අදහස විය. හැම රැස්වීමකම දේශීයත්වයට අපේකමට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනන්‍යතාවයට මුල් තැන දෙන මුහුණුවරක් එක් කළ යුතු බව ඔවුන්ගේ කතාබස්වලින් තහවුරු විය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ දැවැන්ත පක්ෂයක මුදුන් මුල් තමයි දේශීයත්වය ජාතිකත්වය හා අපේකම ආදී කාරණා. ශ්‍රී ලංකා එක ඇතුලේ ඒවා යම් කලකදී අතුරුදන් වුණා. අන්න නිසා තමයි ජනතාව ලක්ෂ සංඛ්‍යාත වශයෙන් රොද බැඳගෙන මහින්ද මහත්තයා වටේ එකතුවෙලා ඒවා මහින්ද මහත්තයාගෙන් බලාපොරොත්තු වුණේ. මොකද මහින්ද රාජපක්ෂ තමයි ලංකාවේ ජනතාවගේ දේශීයත්වය ජාතිකත්වය හා අපේ කම යන අනන්‍යතාවන්හි එකම ආරක්ෂකයා හා හිමිකරුවා වුණේ. ඉදිරියේදී අපි ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයාට අන්න ඒ අනන්‍යතාවය තිබිය යුතුයි. එහෙම අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් කරන ස්ථාවරයක තමයි දැන් අපි ඉන්නේ….” පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් තමන්ගේ ඉදිරි වැඩපිළිවෙළ ගැන මාධ්‍යවේදියෙක් විමසද්දී කීවේ එසේය.

පොහොට්ටුවේ එම වැඩපිළිවෙළට අනුව පසුගිය සෙනසුරාදා කැලණිය ආසන බල මණ්ඩල රැස්වීම කැලණියේ සංවිධායක ප්‍රසන්න රණවීර විසින් තම ආසනයේ සංවිධානය කළේය. ඊට පිටස්තරින් පැමිණෙන ප්‍රධාන කථිකයන් ලෙස නාමල් රාජපක්ෂ, තිස්ස කුට්ටිආරච්චි හා ඩී. වීරසිංහ සහභාගි වී සිටි අතර ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස ප්‍රසන්න රණතුංග ද සහභාගි වී සිටියේය. එහිදී ප්‍රසන්න රණතුංග සභාව අමතා කරන ලද කතාව බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූයේ එය පොහොට්ටුවේ ප්‍රධාන මතයට තරමක් වෙනස් ස්ථාවරයක අදහස් කීපයක් ප්‍රකාශයට පත් වූ කතාවක් ලෙසය….

“ගෝඨාභය ජනාධිපතිතුමා අයින් වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාව මේ රටේ ජනාධිපති කරන්න තීරණය කළේ අපේ පක්ෂය. ඒක රහසක් නෙමෙයිනේ. අපි ඒකට උපරිම සහයෝගය දුන්නා. මේ වනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආර්ථික අර්බුදයෙන් රට මුදාගෙන අපි හැමෝටම පිළිගන්න පුළුවන් සංවර්ධන මාවතකට මේ රට හරවලා ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් රටේ ඇති කරමින් ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරමින් ජනතාවගේ විශ්වාසය දිනාගෙන ගමනක් යනවා. දැන් රට ඉල්ලන්නේ ඒ වගේ නායකයෙකුට නැවතත් රට භාර දෙන්න කියලා. මං තවමත් විශ්වාස කරනවා පක්ෂය මේ ගැන හිතලා ඉදිරියේදී හොඳ තීන්දුවක් ගනියි කියලා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා හැර වෙනත් සාර්ථක විකල්පයක් අපට පේන්නෙ නැහැ….” ප්‍රසන්න රණතුංග කීවේය. එහෙත් ඒ වන විට පොහොට්ටුවේ නායකයන් ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඊට වෙනස් ස්ථාවරයක සිටින බව කාට කාටත් රහසක් නොවීය. එබැවින් අනෙකුත් අපේක්ෂකයෝ ඒ සම්බන්ධයෙන් කතා කළේ තරමක් පරිස්සමිනි.

ප්‍රසන්නගෙන් පසුව කතාව යෙදී තිබුණේ තිස්ස කුට්ටිආරච්චිටය.

“අපි ඔය වෙන කාටවත් සහයෝගය දෙන්නේ නෑ. අපි සහාය දෙන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයාට. පොහොට්ටුවෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් අපි ඉදිරියේදී නම් කරනවා…” තිස්ස කුට්ටි කීවේය.

එය වෙනත් කිසිදු අපේක්ෂකයෙක් නොකී කතාවක් බැවින් ප්‍රසන්න තිස්ස කුට්ටිගේ කතාව අවසන් වූ පසු ඔහුට ළඟට කතා කළේය…

“මොකක්ද උඹ අර කියපු කතාව. උඹ කිව්වනේ පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් දානවා කියලා… හරි මට දැන් කියපන් බලන්න කවුද ඒ අපේක්ෂකයා කියලා…”

අහල පහල සිටි අනිකුත් හිතවතුන් බලා සිටියේ දැන් මේ මොහොතේ මොකක් හෝ පටලැවිල්ලක් දෙදෙනා අතර ඇති වේය කියාය… එහෙත් තිස්ස කුට්ටිආරච්චි හයියෙන් සිනාසී ප්‍රසන්නගේ අත අල්ලාගෙන ඊට හොඳ උත්තරයක් දුන්නේය…

“ඉතින් මං කිව්වේ බොරුවක් නෙවෙයිනේ අයියා… පොහොට්ටුවෙන් දාන අපේක්ෂකයාට තමයි අපි උදව් කරන්නේ. ඒක කියන්න ඉතින් අපි දෙපාරක් ඇඹරෙන්න ඕනෙ නෑනේ…”

“හරි ඉතින් මට කියපන් කවුද ඒ අපේක්ෂකයා කියලා. කවුද මේ වෙලාවේ එහෙම අභියෝගයක් භාර ගන්න ඉන්න නායකයා…”

“වෙන කවුද ඉතිං රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාම මිස. එතුමාව මේ පාර පොහොට්ටුවෙන් දානවා. ඔන්න ඊට පස්සේ අපි ස්ටේජ්වලට නැගලා මේ වගේ කෑගහලා කතා කරලා එතුමන්ව දිනවනවා…”

ඒ අවස්ථාවේ උඹ තමයි බං දවසකට හරි මිනිහා කියමින්…. එම දෙබස අසා සිටි අනෙකුත් හිතවතුන් තිස්ස කුට්ටිගේ පිටට තට්ටු කළහ… ප්‍රසන්න ඊට සිනාසුනා මිස කිසිවක් කියන්නට

ගියේ නැත. එහෙත් ඔහු අපේක්ෂා කළේ වෙනත් තත්ත්වයක් බව අන් අයට පැහැදිලි වූහ.

මේ දුෂ්කර වෙලාවේ මැතිවරණ සාධාරණද

සියල්ල මෙසේ තිබිය දී මෙම පසුබිමේ තවත් අපූරු දෙයක් පසුගිය සතියේ සිදුවිය. එය බොහෝ විට දේශපාලන කරළියේ තැන් තැන්වල පසුගිය කාලය මුළුල්ලේම කතාබහට ලක්වී තිබූ කාරණාවකි.

පසුගිය සතියේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිධාරියකු වන ලේනම නම් මහත්මයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත එක්තරා පෙත්සමක් ඉදිරිපත් කළේ සාමාන්‍ය පුද්ගලයකු ඉදිරිපත් කරන මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ පෙත්සමක් විදියටය.

ඔහු ඉදිරිපත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයකුගේ ධුර කාලය අවුරුදු 5ක්ද එසේ නැත්නම් අවුරුදු 6ක් ද යන තර්කයයි. ඔහුගේ අදහස වූයේ තවමත් ජනාධිපති ධුර කාලය වසර හයක් ලෙස ව්‍යවස්ථාවේ සඳහන් වන බවය. ඊට ඔහු සාක්ෂියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තිය ඉදිරිපත් කරයි. එහි සඳහන් පරිදි ජනාධිපතිවරයාගේ ධුර කාලය තීරණය කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ එය අවුරුදු 6 ඉක්මවන්නේ නම් පමණක්ය. ඔහුගේ අදහසට අනුව තවමත් ව්‍යවස්ථාවේ ලිඛිතවත් පවතින පරිදි ජනාධිපති ධුර කාලය අවුරුදු හයකි. පසුගිය කාලයේ එය වෙනස් කළා යැයි කීවාට ව්‍යවස්ථාවේ තවමත් එය නිවැරදිව සඳහන්ව නැත.

මෙම තර්කය මත පදනම්ව මෙම වසරේ අවසාන කාර්තුවේ ජනාධිපතිවරණයක් පැවැත්වීම ගැන එය ව්‍යවස්ථානුකූලදැයි විමසමින් ලේනම මහත්මා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම ඉදිරිපත් කර තිබුණේ උක්ත කාරණාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ විවරණ ලබා ගැනීම සඳහාය.

පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණියේ පසුගිය 3 වැනි බදාදාය. ඊට පහුවදා එනම් 4 වැනිදාම එම කාරණාව සලකා බැලීමට අගවිනිසුරුතුමා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරනු ලැබීය. උක්ත කාරණාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කරුණු විමසා බැලීමට භාර ගන්නවාද නැද්ද කියන කාරණාව ලබන අට වැනිදා එනම් ලබන සඳුදා නිවේදනය කිරීමට අගවිනිසුරුවරයා විසින් අදාළ පංච පුද්ගල විනිසුරු මඬුල්ලට බලය පවරනු ලැබීය.

හදිසියේ ගහෙන් ගෙඩි එන්නාක් මෙන් සිදු වූ මෙම කාරණාව සම්බන්ධයෙන් අද අපේ දේශපාලන කතිකාව තුළ කථිකාවන් බොහෝය. අදහස් දැක්වීම් ද බොහෝය. අනිත් අතට විවේචන ද සුළුපටු නැත.

ඇතැම් දේශපාලන කඳවුරුවලින් කියවුණේ මෙය රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාවය මත සිදුකළ දේශපාලන වෙට්ටුවක් බවය. එවන් විවේචනයක් සමාජයෙන් මතුවන්නට පෙර ජනාධිපතිවරයා එක් ප්‍රකාශයක් කළේය. ප්‍රකාශයෙන් කීවේ මෙම පෙත්සම ඉදිරිපත් කළ පාර්ශ්වය සමග තමන්ට කිසිදු සම්බන්ධයක් නැති බවය. කොටින්ම එය තමන් සමග සාකච්ඡා කර ඉදිරිපත් කරන ලද පෙත්සමක් නොවන බව ඔහු නිවේදනය කළේය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශ ඇතැමුන් විග්‍රහ කළේ ඔක්කොටම කලින් කෙහෙල්කැන වැට පැන ඇති බවටය.

ඒත් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය හමුවට එක් වැදගත් කාරණාවක් ඉදිරිපත් කළේය.

“19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිද්ධ වෙච්ච එක්තරා වරදක් තියෙනවා. එතනදි ජනාධිපති ධුර කාලය අවුරුදු 5ක් කිරීමේ සංශෝධනය සම්මත වුණත් ධුර කාලය වසර 6ක් ලෙස තිබෙන වගන්තිය අත්හිටුවල නෑ. අපි දැන් වහාම මේ වරද නිවැරදි කරන්න ඕන. ජනාධිපති ධුර කාලය අවුරුදු 5යි කියල පනතක් ගෙනල්ලා ඒක සම්මත කරන්න ඕන ඕගොල්ලෝ මොකද කියන්නේ?….”

ජනාධිපතිවරයා ඒ සඳහා එදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තේය.

ජනාධිතිවරණයට බාලගිරි දෝෂයද?

මෙය සිදු වූයේ සතිය ආරම්භයේදීය. ජනාධිපති ධුර කාලය වසර 5ක් නොවේ, 6ක්ය යන කාරණාව විමසා බලන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම පැමිණියේ සතිය මැදය. මේ දෙක අතර සම්බන්ධයක් නැතැයි කාට නම් කිව හැකිද… එතන පොඩි ප්‍රශ්නයක් තිබිණි.

විපක්ෂය මේ කාරණාව සැලකුවේ මුට්ටිය දමා බැලීමක් ලෙසය. එහෙත් විපක්ෂයේ සිටින පළපුරුදු දේශපාලනඥයකු වන ඩලස් අලහප්පෙරුම පසුගිය දිනක මේ සඳහා ඉතා වැදගත් විවේචනයක් ඉදිරිපත් කළේය.

“රනිල් වික්‍රමසිංහ කියන්නේ ඉතිහාසය පුරාම මැතිවරණවලට වෙට්ටු දාලා තෙම්පරාදු වෙච්ච දේශපාලන නායකයෙක්. අපිට එයාගේ වැඩපිළිවෙළ හොඳට පුරුදුයි. අවසාන වතාවට මේ රටේ මැතිවරණයක් පැවැත්වුණේ විස්සයි විස්සේ අගෝස්තු පස්වැනිදා. එදා පටන් මේ දක්වාම මේ රටේ මැතිවරණ නෑ. ජනමත විචාරණයකින් ජනාධිපතිවරණය කල් ගියත් ඒ කාලේ පළාත් පාලන මැතිවරණ තිබුණා. දැන් ඒකත් නෑ. මේ ඔක්කොම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රයේ තියෙන වැඩපිළිවෙළක් කියල ඔප්පු කරන්න මට කාරණා හතරක් ඇති…

ඒ අනුව අංක එක… එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිරයි මහලේකම් රංග බණ්ඩාරයි නිතරම කියන කාරණාවක් තමයි ජනාධිපතිවරණයක් අවශ්‍ය නෑ. මේ ජනාධිපතිතුමාට රට ගොඩ ගන්න අවුරුදු දොළහක් කාලය දෙන්න කියන එක.

කාරණාව අංක දෙක. පළාත් සභා මැතිවරණය පාර්ලිමේන්තුවේ ගැටයක් ගහලා පනත ඉදිරිපත් කරපු ෆයිසර් මුස්තාපා ලව්වම රනිල් වික්‍රමසිංහ පරාජය කෙරෙව්වා. මේ රටේ පළාත් සභා නැතුව සමහර ඒවා අවුරුදු හයක්. සමහර ඒවා අවුරුදු පහක්.

තුන්වෙනි එක… පළාත් පාලන මැතිවරණයත් කැඳවලා නොමිනේෂන් අරගෙන ඇප මුදලුත් තැන්පත් කරලා පාර්ලිමේන්තු ගැටයක් ගහලා කල් දාලා තියෙනවා. ඕක ඇහුවාම කියන්නේ කොහෙද මැතිවරණයක් තියෙන්නේ… කවුද නොමිනේෂන් බාර දුන්නේ කියලා. ඒ උනාට ඒකට මිලියන 182 ඇප මුදල් බැඳලා තියෙනවා ඡන්දෙ වෙනුවෙන් අපේක්ෂකයෝ.

හතරවෙනි එක… මතකද ජනාධිපති රනිල් ගිය අවුරුද්දේ කමිටුවක් පත් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන්. ඔන්න ඔය ව්‍යවස්ථාමය අවුල් වියවුල් ගැන හොයලා විසඳුමක් යෝජනා කරන්න.

ඔන්න ඔය කාරණා හතර අනුව මට විශ්වාසයි මේක අහඹුවක් නෙවෙයි. ජනාධිපතිගේ න්‍යායපත්‍රය කොටසක්.

මේකෙන් ඔහු කාරණා දෙකක් බලාපොරොත්තු වෙනවා. එකක් සමාජය මත ව්‍යාකූලත්වයක් නිර්මාණය කරනවා. දෙවෙනි එක තමයි මැතිවරණය පස්සට දමමින් කල්ගන්නවා.

අපි හිතමු මේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාග කරන්න තීරණය කළා කියලා. මේ මාසෙ දාහත් වැනිදාට මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා ඊළඟ ජනාධිපතිවරණය කැඳවන්න. හැබැයි ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනාධිපතිවරණය පිළිබඳ කාරණාවක් විමර්ශනයට ලක් කෙරෙද්දී මැතිවරණ කොමිසමට බැරිවෙනවා මැතිවරණය පැවැත්වීම නිවේදනය කරන්න. අන්න ඒ කල් ගැනීම කරන්න තමයි මේ අවේලාවේ ඔය ව්‍යාපෘතිය සමාජගත වෙලා තියෙන්නේ.

මේ අතර ජනාධිපතිවරයාගේ පැත්තෙන් මේ සම්බන්ධයෙන් උත්තරයක්ද. ජනාධිපතිවරයා මෙවන් ප්‍රශ්නවලට ඉතා කෙටි උත්තර ලබාදීමට අති දක්ෂයෙකු ලෙස ප්‍රකටය.

“අපි මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට බිලියන 8ක් මුදල් වෙන් කරලත් ඉවරයි.”

ජනාධිපති මහින්දට ප්‍රසන්න දීපු තෑග්ග…

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

“අපි බලාපොරොත්තු වුණේ අයි.එම්.එෆ්. ගිවිසුම පාර්ලිමේන්තුවට දාල සාකච්ඡා කරන්නයි. නමුත් සම්පන්ධන් මැතිතුමා නැතිවීමත් එක්ක අපිට ඒක කරගන්න බැරිවෙනවා. අපි විවාදයක් තියන්නේ නෑ. මම පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කරනවා.” ජනාධිපතිවරයා කීය.

“මේ ගිවිසුමට පාර්ලිමේන්තු මුදල් කමිටුවේ අනුමැතිය ඕන නිසා මම හර්ෂට කතා කළා. මේ ගැන සලකා බලන්නම් කියල එයා කිව්වා.” ජනාධිපතිවරයා යළි කීය.

“රටට සුබ ආරංචියක් එන වෙලාවේදි ඒක කඩාකප්පල් කරන්න ස්ටාර්ලිනුයි හර්ෂයි වැඩ කළා. ඒක මහ කැත වැඩක්” සුරේන් රාඝවන් රාජ්‍ය අමාත්‍යවරයා හඬ අවදි කළේය.

“ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවාසිදායක බව විපක්ෂය කියනවා. අපිට අංක ගණිතය තේරෙනවා. නමුත් මේක ජනතාවට තේරෙන විදියට කියන්න ඕන. නැත්නම් විපක්ෂය බොරු මතයක් හදනවා.” රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න කීය.

“ඒ ගැන මුදල් අමාත්‍යංශයෙ ලේකම්තුමා, ඔබතුමන්ලට කරුණු පැහැදිලි කරාවි. මම කියන්නේ විපක්ෂයේ කතාවලට උත්තර දෙන්න යන්න එපා කියලා. එයාල හදන්නේ අපිව කොටු කරන්න. ඒකට අහුවෙන්න එපා” ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට අවවාද කළේය.

“මම ටිකට් දෙන්නම්, කෑම බීම, ඉඳුම් හිටුම් සියල්ලම සපයන්නම්. විපක්ෂයට කියන්න නිව්යෝර්ක් ගිහිල්ලා අයි.එම්.එෆ්. එකත් එක්ක කතා කරල මීට වඩා හොඳ වැඩපිළිවෙළක් හදාගෙන එන්න කියල.” ජනාධිපතිවරයා කී කතාවට මන්ත්‍රීවරුන්ට සිනා නොවී සිටිය නොහැකි විය

ඇමැතිවරුන් වන ප්‍රසන්න රණතුංග හා මනූෂ නානායක්කාර පසුගිය බදාදා බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේදී මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් පිරිසක් හමුවිය.

“ඇත්තටම පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද?” මාධ්‍යවේදීන් ඇමැති ප්‍රසන්නගෙන් විමසීය.

“මම එදත් කිව්වෙ, අදත් කියන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයට දෙන්න ඕන කියල. මම ඒක පක්ෂ සමුළුවලදීත් කිව්වා” ඇමැති ප්‍රසන්න කීය.

“එතකොට මහලේකම්තුමා කියන්නේ ජනාධිපතිතුමාට අපේක්ෂකත්වය ගන්න ඕන නම් පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න ඕන කියන කතාව මොකද්ද?” මාධ්‍යවේදියකු යළි විමසීය.

“මම ඒක ගැන එතුමගෙන් ඇහැව්වා. මම ඒකට උත්තරත් දුන්නා” ඇමැති ප්‍රසන්න කීවේ උස්හඬින් සිනාසෙමිනි.

හිටපු විපක්ෂ නායක ආර්. සම්පන්ධන් මහතාගේ දේහය ඉකුත් බදාදා පාර්ලිමේන්තුවට රැගෙන ආවේ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්ට ගෞරව දැක්වීමටය.

අභාවප්‍රාප්ත සම්පන්ධන් මන්ත්‍රීවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අකරතැබ්බයකට මුහුණ දුන්නේය. ඒ ඔහු විසින් ඇණවුම් කළ මල්වඩම නිසි වේලාවට නොලැබීම නිසාය.

හිටපු ජනාධිපතිවරයා මුහුණ දුන් ගැටලුව ඇමැති ප්‍රසන්නට ආරංචි විය.

“සර්… මේ මල්වඩම තියල දේහයට අවසන් ගෞරව දක්වන්න” ඇමැති ප්‍රසන්න තමන් සතුව තිබූ මල්වඩම හිටපු ජනාධිපතිවරයාට දෙමින් කීය.

බුලිත ප්‍රදීප් කුමාර


advertistmentadvertistment