එංගලන්තයේ සමාගම් නීති විරෝධී ලෙස මළ ජලය ගංගාවලට එක් කරයි

284

ඉකුත් වසරේදී (2022) වියළි කාලගුණයක් පැවති දිනවල එංගලන්තයේ ප්‍රධාන පෙළේ ජල සැපයුම් සමාගම් තුනක් විසින් නීති විරෝධී අයුරින් පැය 3500ක කාලයක් මල සහිත අපවිත්‍ර ජලය මුහුදට හා ගංගාවලට මුදා හැර ඇති බව එංගලන්ත මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ. ජල සැපයුම් මාර්ගවල මලද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය වැඩි ප්‍රතිශතයක් අන්තර්ගත වීමට ඉඩ ඇති හෙයින් ‘ඩ්‍රයි ස්පිලින්’ යනුවෙන් හැඳින්වෙන අපවිත්‍ර වූ ජලය ගංගාවලට හා මුහුදට මුදා හැරීම වියළි කාලගුණයක් පවතින කාල සීමාවල සිදු කිරීම එංගලන්තය නීතියෙන් තහනම් කර තිබේ.

එවැනි වාතාවරණයක් තුළ එංගලන්තයේ තේම්ස්, වෙසෙක්ස් හා සදර්න් වෝටර් යන ජල සැපයුම් සමාගම් ඒකාබද්ධව වියළි කාලගුණයක් පවතින කාලසීමාවක මල ද්‍රව්‍ය සහිත අපවිත්‍ර වූ ජලය මුදාහැරීම නිසා ඒ හරහා විෂ ද්‍රව්‍ය නිපදවන ඇල්ගී හටගැනීමෙන් එම ජලයට නිරාවරණය වූ පිහිනුම්කරුවන්ට සෞඛ්‍ය අවදානමක් මෙන්ම සත්ත්වයන්ට මාරාන්තික තත්ත්වයක් ඇති කිරීමට මුල් විය හැකි බව පරිසර හා ජල විද්‍යාව පිළිබඳ ආචාර්යවරියක වන ලින්ඩා මේ පවසන්නීය. ප්‍රධාන පෙළේ ජල සැපයුම් සමාගම් තුනක් විසින් සිදු කර ඇති මෙම අපවිත්‍ර ජලය මුදා හැරීමේ ක්‍රියාදාමය විමර්ශනයට ලක් කළ යුතු බව එංගලන්තයේ විශාලතම ජල සැපයුම් ආයතනය වන වෝටර් යූ කේ පවසයි. එංගලන්තයේ ජල සැපයුම් සමාගම්වලට මල ද්‍රව්‍ය සහිත අපවිත්‍ර වූ ජලය ගංගාවලට හා මුහුදට මුදා හැරීමට අවසරය ලැබෙනුයේ වර්ෂාපතනයක් ඇති කාලවලදී පමණක් බව එරට මාධ්‍ය සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment