‘පළඟ’ අංශයේ පළමු ජය – සී. එච්. ඇන්ඩ් එෆ්. සී. වාර්තා කරයි

42

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක අන්තර් සමාජයීය ලීග් රග්බි පාපන්දු තරගාවලියේ “පළඟ” අංශයේ පළමු ජයග්‍රහණය වාර්තා කර ගැනීමට සී. එච්. ඇන්ඩ් එෆ්. සී. පිල සමත් විය. එකී අංශයේ දෙවන ජයග්‍රහණය පොලිස් ක්‍රීඩා සමාජය සතු විය.

සී. එච්. පිල හමුවේ නාවික හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 39 කින් ද පොලිසිය හමුවේ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ලකුණු 27 කින් ද එහිදී පරාජයට පත් විය.

මෙවර “පළඟ” ශූරතාව දිනා ගැනීමේ අරමුණ ඇතිව තරග බිමට ආවතීරණ වී සිටින කණ්ඩායම් සංඛ්‍යාව 05 කි.

සී. එච්. ඇන්ඩ් එෆ්. සී, නාවික හමුදා ක්‍රීඩා සමාජය, පොලිස් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය එම කණ්ඩායම් වෙති.

සී. එච්. ඇන්ඩ් එෆ්. සී. ලකුණු 59 – නාවික හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 16

සී. එච්. පිල සහ නාවික හමුදා පිල අතර සටන

වැලිසර නාවික හමුදා පිටියේ දී ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී ලකුණු 59 – 16 ක් ලෙස පහසු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට සී. එච්. ක්‍රීඩකයන් සමත් වූහ. ලකුණු 12 – 11 ක් ලෙස මෙහි පළමු භාගය තියුණු මුහුණුවරකට අනුවර්තනය වී තිබුණි.

සී. එච්. ඇන්ඩ් එෆ්. සී. පිල වෙනුවෙන් ජනිඳු ඩිල්ෂාන් 02, තනුජ ඩිල්ෂාන් 02, රවිඳු අංජුල 02, චරිත් සිල්වා 01, දිනේෂ් ද සිල්වා 01 සහ පසිඳු බණ්ඩාර 01 බැගින් උත්සාහක දිනුම් වාර්තා කරමින් කැපී පෙණුනි. එහි ප්‍රවර්තන 08 ක් නිවැරදි එල්ලයට යොමු කිරීමට ජනිත් චන්දිමාල් සමත් වන අතර වාරයේ දී එක් ප්‍රවර්තනයක් සාර්ථක කර ගැනීමට කවිඳු යසස් ට හැකියාව ලැබිණි.

නාවික හමුදාව වෙනුවෙන් ප්‍රදීප් රණවීර 01 සහ දිමුත් පෙරේරා 01 බැගින් උත්සාහක දිනුම් සටහන් කළ අතර දඬුවම් පහර 02 ක් ප්‍රතිවාදී ගෝල් කණු අතරින් යොමු කිරීමට තිළිණ වීරසිංහ සමත් විය.

පොලිසිය ලකුණු 39 – ශ්‍රී ලයන්ස් ලකුණු 12

රත්මලාන ගුවන් හමුදා පිටියේ දී ක්‍රියාත්මක කෙරුණු තරගයේ ප්‍රථම භාගය තුළ තියුණු තරගකාරීත්වයක් නිර්මාණය වී තිබුණත් දෙවන භාගය තුළ ශ්‍රී ලයන්ස් පිලට එරෙහිව ප්‍රබල ආක්‍රමණයක නිරත වෙමින් ලකුණු 39 – 12 ක පහසු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට පොලිසියට හැකියාව ලැබිණි.

ප්‍රථම භාගය නිමා වන විට ලකුණු තත්ත්වය 18 – 12 ක් විය.

පොලිසිය ගෝල් දිනුම් 04, උත්සාහක දිනුම් 01 සහ දඬුවම් පහර 02 ක් මගින් ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර වාරයේ දී ගෝල් දිනුමක් සහ උත්සාහක දිනුමක් ආශ්‍රිතව ශ්‍රී ලයන්ස් පිලේ ලකුණු එකතුව සටහන් විය.

පරාජිත ශ්‍රී ලයන්ස් පිල වෙනුවෙන් දෙනුවන් සිල්වා 01 සහ දුෂ්මන්ත ප්‍රියදර්ශන 01 බැගින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර එහි එක් ප්‍රවර්තනයක් සාර්ථක කර ගැනීමට අනුරාධ සිල්වා සමත් වූයේය.

ජයග්‍රාහී පොලිසිය වෙනුවෙන් දේශාන් ප්‍රනාන්දු, යොහාන් පීරිස්, ෂෙහාන්දු කොස්තා, විහඟ පිවිතුර සහ විහඟ ශවීන් උත්සාහක දිනුම බැගින් ලබාගත් අතර යොහාන් පීරිස් ප්‍රවර්තන 04 ක් සහ දඬුවම් පහර 02 ක් සාර්ථක කළේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment