ගාල්ල කච්චුවත්ත විහාරයේ මිල කළ නොහැකි පිළිම උස්සලා

160

ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ ඇති කතරගම දේවාලයේ තිබී මිල කළ නොහැකි කතරගම දෙවියන්ගේ පිත්තල පිළිමයක්, සරස්වතී හා විෂ්ණු දෙවියන්ගේ පිළිමයක්, ශ්‍රී ශුලයක්, සලඹ 52 ක්, සීනු 32 ක් හා කුකුළු පහන් 08 ක් සොරකම් කළ පුද්ගලයකු සහ මෙකී භාණ්ඩ ළඟ තබාගෙන සිටි සාමිවරයකු අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමන අංකොක්කාවල, මොරගලකන්දේ පදිංචි 39 හැවිරිදි වියේ පසුවන අයකු හා පානදුර ප්‍රදේශයේ පදිංචි සාමිවරයෙකි.

මෙකී සැකකරු පූජාවලට සම්බන්ධ වන මුවාවෙන් කච්චුවත්ත විහාරස්ථානයට කිහිප වතාවක් පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. එහිදී මෙම මිල කළ නොහැකි භාණ්ඩ සොරකම් කිරීම සඳහා සැලසුම් කොට ඇත. ඉකුත් 19 වැනි දින මෙකී භාණ්ඩවලින් කොටසක් සැකකරු විසින් සොරකම් කරගෙන ගොස් ඇත. අවස්ථා තුනකදී කච්චුවත්ත විහාරස්ථානයේ කතරගම දේවාලයේ තිබී මුළුතැන්ගෙයි පූජාව සිදුකරනු ලබන කතරගම දෙවියන්ගේ පිත්තල පිළිමයක්, සරස්වති දෙවියන්ගේ පිළිමයක්, විෂ්ණු දෙවියන්ගේ පිළිමයක්, සලඹ 52 ක්, සීනු 32 ක් හා කුකුළු පහන් 08 ක් සොරකම් කරගෙන ගොස් තිබුණි.

පසුව සැකකරු විසින් කතරගම දෙවියන්ගේ පිළිම ඇතුළු භාණ්ඩ පානදුර ප්‍රදේශයේ සාමිවරයකු වෙත අලෙවි කිරීම සඳහා රැගෙන ගොස් ඇත. තමන්ගේ මව නිවසේ කතරගම දෙවියන්ගේ දේවාලයක් පවත්වාගෙන ගිය බවත්, මව මියයෑමෙන් පසු මෙම පිළිම ඇතුළු භාණ්ඩ තමන්ට ප්‍රයෝජනයක් නොමැති බව ඔහු පවසා ඇත. එසේ පවසමින් සාමිවරයාට මෙකී පිළිම ඇතුළු භාණ්ඩ විකුණා රුපියල් දසදහසක මුදලක් ලබාගෙන ඇත.

සාමිවරයා විසින් කතරගම දෙවියන්ගේ පිළිමය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු ඔහුගේ බිරිඳ අසනීප වූ බව ද ඔහු පොලිසියට ප්‍රකාශ කොට ඇත. දින දෙකක් වැනි කෙටි කාලයක් තුළදී මිල කළ නොහැකි මෙම පිළිම ඇතුළු භාණ්ඩ සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි. සොරකම් කරනු ලැබූ භාණ්ඩ මිලදී ගැනීමේ චෝදනාව මත සාමිවරයා අත්අඩංගුවට ගෙන ඇත. විහාරස්ථානයේ ඇති සී.සී.ටී.වී. කැමරාවල තිබූ දර්ශන ඔස්සේ පරීක්‍ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල හිනිදුම – රවීන්‍ද්‍ර චන්‍ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment