ප්‍රතිඥාව අත්හිටුවයි: උණුසුම්ව ඇරැඹි රැස්වීම සතුටින් නිමවෙයි

18

සි.ත.ක.ස. නව ලේකම් – ශ්‍රියා හිඳුරංගල, සභාපති ධුරය යළිත් පැල්පිටට

සිංහල තරුණ කවි සමාජයේ (සි.ත.ක.ස) නව ලේකම් ලෙස ශ්‍රියා හිඳුරංගල කිවිඳිය තේරීපත් වූවාය.

1986 සැප්තැම්බර් 28 දා ඇරැඹි අවුරුදු තිස්අටක ඉතිහාසයක් ඇති සිංහල තරුණ කවි සමාජයේ ලේකම් ධුරයට කිවිඳියක පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

සි.ත.ක.ස නිර්මාතෘ ජී. ඇම්. අජික් කවියා සමිතිය පිහිටවූදා සිටම ඔහු අභාවප්‍රාප්ත වන තෙක්ම එහි ලේකම් ධුරය හෙබවූයේය. ඒ අනුව එම සමිතියේ ලේකම් ධුරය වෙනස් වූ ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි.

ජී. ඇම්. අජිත් කවියාගේ අභාවයෙන් පසු වසර හතරක් අක්‍රිව පැවැති සි.ත.ක.ස යළි සක්‍රිය කිරීම සඳහා පැල්පිට උබයවර්ධන කවියා විසින් කැඳවන ලද මෙම රැස්වීම කඩුවෙල රනාල ශ්‍රී මහින්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ දී 29 වැනිදා පැවැත්විණි.

සභාව අරම්භක අවස්ථාවේදී සි.ත.ක.ස ප්‍රතිඥාවක් ඇති බවට නිවේදනය කෙරුණු අතර එයට සභාවේ සිටි හිඳුරංගල කිවිඳිය එරෙහි වූවාය. එවැනි ප්‍රතිඥාවක් දීම සි.ත.ක.ස සම්ප්‍රදාය නොවන බව සඳහන් කළ ඇය සභාවේ සිටි සභාපති පැල්පිට උබයවර්ධන කවියාට මූලාසනය ගෙන කටයුතු කරන ලෙස ආරාධනා කළාය. පැල්පිට කවියාගේ කතාවෙන් පසු වේදිකාවට ගොඩවූ ශ්‍රියා හිඳුරංගල කිවිඳිය සිංහල තරුණ කවි සමාජය හා ජී. ඇම්. අජිත් කවියා කවි ඉගැන්වූ විරිත කවි තක්සලාව යනු එකක් නොව දෙකක් බව සඳහන් කළාය. සි.ත.ක.ස . අයිතිය ඇත්තේ ජී. ඇම්. අජිත් කවියාගේ ගෝලයන්ට නම් එහි වඩාත්ම අයිතිය ඇත්තේ තමාට බවත් ජී. ඇම්. කවියා සිය ජීවිත කතාව ලියූ පොතක ඔහුගේ හොඳම ගෝලයා තමා බව සඳහන් කර ඇති බවත් ඇය කීවාය. ජී. ඇම්. අජිත්ගේ කවීත්වයේ හැකියාවට ඔහුගේ ගෝලයන් කිසිවකුට කිට්ටුවිය නොහැකි බවත් සඳහන් කළ හිඳුරංගල කිවිඳිය ඕනෑම කවි සභාවක අදටත් බැබළෙන්නේ සි.ත.ක.ස.යෙන් බිහිවුණු අය යැයි ද කීවාය. අජිත් කවියාගේ අභාවයට පෙර සිටම සි.ත.ක.ස. අක්‍රීයව පැවැති බව ද ඇය සඳහන් කළාය. සභාවේ සිටි අය ඇයගේ කතාව සාවදානව අසා සිටියහ.

අනතුරුව නිලවරණය පැවැත්විණි. එහිදී හිටපු සභාපති පැල්පිට උබයවර්ධන කවියා යළිත් සභාපති ධුරයට පත්වූ අතර ශ්‍රියා හිඳුරංගල කිවිඳිය ලේකම් ධුරයට පත්වූවාය. පත්වූ අනිකුත් නිලධාරීන් මෙසේය.

භාණ්ඩාගාරික ඕ.පී.කරුණාදාස, ජාතික සංවිධායක නිහාල් හේමන්ත, ප්‍රචාරක ලේකම් කොක්මාදූවේ නිශාන්ත, නියෝජ්‍ය සභාපති රතුපස්වල ලලිත් ප්‍රේමතිලක, නියෝජ්‍ය ලේකම් පැල්පිට ජයසෝමා හපුආරච්චි.

මීට අමතරව කාරක සභාවට අට දෙනෙක් තේරී පත්වූහ.

නන්දනී කන්නන්ගර, දිබ්බැද්දේ සිරිපාල, පැල්පිට සරත්චන්ද්‍ර, චන්ද්‍රකාන්ති ජයකොඩි, සුනිල් සපුගහවත්ත, නිරෝෂන් කුමාර, සුනිල් හේමන්ත , කුරවි කූජනා යන කවි කිවිඳියෝ එසේ පත්වූහ.

සියලුම නිලධාරීන්ට සභාවේ පූර්ණ අනුමැතිය හිමිවුණි. නිලවරණයෙන් පසු වේදිකාවට ගොඩ වූ මෙම රැස්වීමේ සංවිධාන කටයුතු කළ නිහාල් හේමන්ත කවියා නිලවරණයට පෙර තනතුරු බෙදා ගැනීමට තමා ඇතුළු පිරිසක් උත්සාහ කළ බවට චෝදනා එල්ල වන බවත් එසේ එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය. තමා ඇතුළු පිරිසගේ ඒකායන අරමුණ වූයේ සි.ත.ක.ස යළි සක්‍රීය කිරීම පමණක් බව ද ඔහු සඳහන් කළේය.

එහිදී සභාවේ සිටි අයකු නැගිට නිලතල ගැන කළ රහස් සාකච්ඡා ඔප්පු කිරීමට අදාළ හඬ පටයක් තමන් සතුව ඇතැයි පැවසූවත් එම කතාව දුර දිග ගියේ නැත. අවසානයේ කවි කිවිඳියෝ කවි ගායනා කර මඤ්ඤොක්කා සහ බෙලි මල් සංග්‍රහ ද භුක්ති විඳ සතුටින් විසිර ගියහ.

කඩුවෙල – සුගත් ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment