ප්‍රතිවාදීන් සියලු දෙනා පරදා පෙරමුණේ සිටි මහනුවර ලීග් ශූරයෝ වෙති

240

ඉකුත් ජනවාරි මස 21 දින සිට අප්‍රේල් මස 01 දින දක්වා කොළඹ සහ මහනුවර කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද නිපොන් පේන්ට් අභියෝග කුසලාන අන්තර් ක්‍රීඩා සමාජයීය රග්බි පාපන්දු තරඟාවලියේ ප්‍රමුඛ පෙළ කුසලානය මහනුවර ක්‍රීඩා සමාජයට පිරිනමන්නට සංවිධායකයන් තීරණය කර තිබේ.

ඒ, ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරුණු මූලික වටයේදී ප්‍රතිවාදී සියලු කණ්ඩායම් අභිබවමින් තම අපරාජිත බව සටහන් කර ගැනීමට සමත්වීම මෙන්ම දෙවන වටය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදී ප්‍රබල පොලිසිය පරාජය කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ ඉදිරියෙන්ම රැඳී සිටීම හේතුවෙනි.

මෙවර තරගාවලිය යටතේ පොලිසිය දෙවතාවක් ද ගුවන් හමුදාව, නාවික හමුදාව, යුද හමුදාව, සී.එච්.ඇන්ඩ් එෆ්.සී. සමාජය, සී. එච්. ඇන්ඩ් එෆ්.සී සමාජය සහ හැව්ලොක්ස් සමාජය පරාජය කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ අංක එක ස්ථානය අපරාජිතවම තහවුරු කර ගැනීමට මහනුවර ක්‍රීඩකයන්ට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස මහනුවර ක්‍රීඩා සමාජය සතු කර ගැනීමට සමත් වූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 45 කි. මහනුවරට ප්‍රබල තර්ජනයක් වූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට මෙවර හිමි වූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 40 කි. ඔවුන් ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ පමණක් පරාජයට පත්ව තිබීම කැපී පෙනුණි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පැවරී තිබුණු බලතල අනුව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලන පරිපාලනය තාවකාලිකව වාරණයකට ලක් කරමින් මෙවර ලීග් තරගාවලිය පැවැත්වීමේ බලය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා වෙත පවරන්නට තීරණය කර තිබුණේ ඉකුත් අප්‍රේල් මස 01 දිනයේදීය. ඒ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනි.

එම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කිරීමට ආසන්නම නිලවරණයෙන් තේරී පත්වුණු සභාපතිවරයා වූ රිස්ලී ඉල්ලියාස් මහතා ප්‍රමුඛ රග්බි පාපන්දු විධායක කමිටුව පසුව පියවර ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර රග්බි පාපන්දු සම්මේලනය සහ ආසියානු රග්බි පාපන්දු සම්මේලනය මෙන්ම ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව එක්ව මෙවර ලීග් රග්බි පාපන්දු ශූරතාවලිය අවසන් කිරීමට ගත් උත්සාහය රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් නොහැකි වී තිබේ.

ඒ අනුව මෙතෙක් පැවති තරඟ ආශ්‍රිතව ලත් ප්‍රසාද ලකුණු සැලකිල්ලට ගනිමින් සෑම කණ්ඩායමක්ම ඇගයීමට, සංවිධායකයන් මෙන්ම අනුග්‍රාහකයන් වන නිපෝන් පේන්ට් සමාගම එළැඹ තිබෙන බව වාර්තා වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස අගනුවර දී මෙවර ලීග් ශූරතා කුසලානය මහනුවර ක්‍රීඩා සමාජයට ද අනුශූරතාව හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට ද ප්‍රදානය කරමින් ඒ සඳහා සහභාගි වූ ක්‍රීඩකයන් ඇගයීමට ලක් කිරීමට කටයුතු කර තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 


advertistmentadvertistment