ප්‍රබල කොළඹ පිල අවසන් සටනෙන් හැලේ – මහනුවර – ගාල්ල අවසන් ගැටුම අනිද්දා

86
කොළඹ හා ගාල්ල අතර අවසන් පූර්ව තරගයේ අවස්ථාවක්

ලංකා පාපන්දු කුසලාන තරගාවලිය

ගෙවී ගිය වසර කිහිපයේදී අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගවලදී අඛණ්ඩව ශූරතා දිනාගත් කොළඹ පාපන්දු සමාජය ලංකා පාපන්දු කුසලාන අවසන් පූර්ව වටයේදී ඉවතට ගියේය.

කොළඹ පාපන්දු සමාජයට නයිජීරියානු ජාතික ක්‍රීඩකයන් තිදෙනකු හා ශ්‍රී ලංකා ජාතික පාපන්දු පිලේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද ක්‍රීඩා කළහ.

එහෙත් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී කොළඹ පිල ගෝල් 2-1කින් ගාල්ල ඉදිරියේ පරාජයට පත්විය.

ඒ අනුව ‘ලංකා පාපන්දු කුසලාන’ තරගාවලියේ අවසන් පූර්ව තරග ජයගත් මහනුවර පිල හා ගාල්ල පිල අතර අවසන් මහා තරගය අනිද්දා (19 වැනිදා) කොළඹ සිටි ලීග් පිටියේදී පැවැත්වෙයි.

පළමු අවසන් පූර්ව තරගයේදී යාපනය පිල ගෝල් 5-0කින් මහනුවර පිල විසින් පරාජය කරන ලදී.

කොළඹට එරෙහිව ජයග්‍රහණය ලැබූ ගාල්ල වෙනුවෙන් ඩබ්ලිව්. එම්. චමීර හා වී. යෝගේෂ් ගෝල් වාර්තා කළහ.

මහනුවර හා යාපනය අතර පැවැති අවසන් පූර්ව තරගයේ සියලු වාසි හිමිකර ගත් මහනුවර පිල ගෝල් 5-0කින් යාපනය පිල පරාජය කළේය. කොළඹ සිටිලීග් පිටියේදී පැවැති මෙම තරගයේ පළමු භාගයේදී ගෝල් 3-0කින් මහනුවර පිල ඉදිරියෙන් සිටියේය. මහනුවර පිලේ කවිඳු ඉෂාන්, චමෝද් දිල්ෂාන්, මොහොමඩ් ෆසාල්, මොහොමඩ් ආකීබ් හා ෂෙනාල් සන්දේෂ් ගෝල් රැස් කළහ.

ශ්‍රී ලංකා ස්පෝට්ස් ගෲප් පුද්ගලික සමාගම සංවිධානය කරන ‘ලංකා පාපන්දු කුසලාන තරගාවලිය සඳහා යාපනය, කොළඹ, කළුතර, මීගමුව, මහනුවර, මධ්‍යම, නැගෙනහිර හා ගාල්ල යන පාපන්දු ක්‍රීඩා සමාජ 8ක් එක්ව සිටියහ. ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් මිලියනයක් හා අනුශූර කණ්ඩායමට රුපියල් ලක්ෂ 5ක් පිරිනමන මෙම තරගාවලිය කොළඹ පාපන්දු සමාජයේ නිර්මාතෘ හා එක්ස්පෝ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ සායිෆ් යූසුප් මහතාගේ සංකල්පයක් අනුව සංවිධානය වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment