පාකිස්තානයට පූර්ණ තරගාවලි ජයක්: සයිම් ආයුබ්ගෙන් ශතකයක්

80

සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි තරගයෙන් ද ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 32ක ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

ඊයේ (23 දා) ජොහන්නස්බර්ග්හිදී පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා ගෙනදීම හේතුවෙන් පන්දු වාර 47ක තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු වාර 47 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 308ක් ලැබීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 42ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 271ක් පමණි.

ඒ අනුව ලකුණු 32ක ජයක් සමග 3-0ක පූර්ණ තරගාවලි ජයක්ද පාකිස්තානයට හිමිවිය.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සයිම් ආයුම් පන්දු 94කට මුහුණ දෙමින් ලකුණු 101ක් ලබාගැනීමට සමත්වූ අතර එම ඉනිම සඳහා හයේ පහර 2ක් සහ හතරේ පහර 13ක් ඇතුළත්වීම කැපී පෙණුනි. ඊට අමතරව මොහොමඩ් රිස්වාන් ලකුණු 53ක්, බාබර් අසාම් ලකුණු 52ක් සහ සල්මන් අගා ලකුණු 48ක් ලැබීය.

පන්දු යැවීමේදී කගීසෝ රබාඩා ලකුණු 56කට කඩුලු 3ක්, බීජොන් ෆෝචූන් ලකුණු 56කට කඩුලු 2ක් සහ මාකෝ ජැන්සන් ලකුණු 58කට කඩුලු 2ක් දවාලීය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී හෙන්ද්‍රිච් ක්ලාසන් පන්දු 43කට මුහුණ දෙමින් ලකුණු 81ක් ලබාගැනීමට සමත්වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් ඇතුළත්ව තිබිණි. ඊට අමතරව කෝබින් බොෂ්ක් ලකුණු 40ක්, රසී වැන්ඩර් ඩුසේන් ලකුණු 35ක් සහ මාකෝ ජැන්සන් ලකුණු 26ක් ලැබීය.

පන්දු යැවීමේදී සුෆියන් මුකීම් ලකුණු 52කට කඩුලු 4ක්, ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 70කට කඩුලු 2ක් සහ නෂීම් ෂා ලකුණු 63කට කඩුලු 2ක් බිඳහෙළීය.

තරගයේ වීරයාට සහ තරගාවලියේ වීරයාට හිමි සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලැබීමට සයිම් ආයුබ් සමත්විය.

සිසිර ඉන්ද්‍රජිත්


advertistmentadvertistment