පාපන්දු තහනමින් ගැලවීමට දමන පදනම

165

පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් රටේ යම් පිබිදීමක්, බලාපොරොත්තුවක් ඇති වෙමින් තිබේ. ඒ පිබිදීම සහ බලාපොරොත්තුව ඇති වූයේ ජාත්‍යන්තර පාපන්දු තහනමෙන් ශ්‍රී ලංකාවට මිදීමට අවශ්‍ය පසුබිම ඉදිරියේදී නිර්මාණය වන බව හිටපු පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා ප්‍රකාශ කිරීමත් සමගය. කෝට්ටේ බැද්දගානේ පිහිටි පාපන්දු මධ්‍යස්ථානයේ පසුගිය දිනෙක පැවති හමුවකදී පාපන්දු පරිපාලනයට සම්බන්ධ ප්‍රධානි සියලු දෙනා පාහේ එක මේසයකට එක් වෙමින් ඒ බව සනාථ කර සිටියහ. අදාළ තහනම ඉවත් කර ගැනීම සඳහා තමන් සියලු දෙනා අත්වැල් බැඳ ගන්නා බව ඔවුහු එහිදී සඳහන් කළහ. ඒ අනුව ඊට අදාළ පළමු පියවර ලෙස හෙට (14 වැනිදා) ශ්‍රී ලංකා පදනම් ආයතනයට පාපන්දු ලීග ප්‍රධානී සියල්ලෝ කැඳවුම් ලබා සිටිති. ඒ විශේෂ පාපන්දු මහා සභා රැස්වීමකටය. පාපන්දු පරිපාලනය යථා තත්ත්වයට පත්කර ගැනීම ට අදාළ නිලවරණය පැවැත්වීමට අවශ්‍ය නිලවරණ කමිටුව පත් කර ගැනීම එම හමුවේ ප්‍රමුඛ අරමුණ වේ.

● පාපන්දු තහනම පැනවීම

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් තහනමක් පැනවීමට ප්‍රධානම හේතුව වූයේ ෆිෆා නිර්දේශවලට අනුව ශ්‍රී ලංකාව කටයුතු නොකිරීමය. ෆිෆා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ නොතකා එම ව්‍යවස්ථාව උල්ලංඝනය වන පරිදි හිතුමතේට පැරැණි ව්‍යවස්ථාවට අනුව නිලවරණයක් පවත්වා නව නිලධාරි මණ්ඩලය පත්කර ගැනීම එහි උච්චතම අවස්ථාවයි. එම නිලවරණය ද තෙවැනි පාර්ශ්වයන්ගේ මැදිහත් වීම් යටතේ නියමිත සැලැස්මට අනුකූලව පවත්වන ලෙස ෆිෆා විසින් දැනුම් දී තිබුණද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එසේ කටයුතු නොකළේය. පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් ලැබුණු එවැනි චෝදනා ද සැලකිල්ලට ගත් ෆිෆා ආයතනය එම නිලවරණය පමණක් නොව ඉන් පත් වූ නිලධාරීන්ව ද ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකා පාපන්දු ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවට ෆිෆා විසින් වසර කීපයකට පෙර සිට දැනුම් දී තිබුණද මෙරට පාපන්දු බලධාරීහු ඊට නෑසූ කන්ව සිටියහ. අවසානයේ සියලු ලීගවල කැමැත්තෙන් නව ව්‍යවස්ථාවක් සම්මත කළ ද මෙරට ක්‍රීඩා ඇමැති නොවේ ඒ පිළිබඳව ඇසක් ඇර බැලුවේ. ඒ අනුව ෆිෆා නිර්දේශ නොතකා පැරණි ව්‍යවස්ථාව පදනම්ව නිලවරණය පැවැත්වීය. කොපමණ කීවත් කියන දේ නොඅසන දරුවන් ට අවසානයේ හොඳම බෙහෙත ලෙස ලෙස වේවැල අතට ගන්නා දෙමව්පියෝ මෙන් කටයුතු කළ ෆිෆා අපට එරෙහිව එවර හොඳ දඩුවමක් දුන්නේය. ඒ ශ්‍රී ලංකාවට පාපන්දු තහනමක් පැනවීමයි. පසුගිය ජනවාරි මාසයේ සිට ඒ අනුව අපට ජාත්‍යන්තර පාපන්දු පිටිය අකැපය. ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග නැත. රටට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ලැබෙන අරමුදල් නැත. විනිසුරුවරුන්ට ජාත්‍යන්තර තරග විනිශ්චය තහනම් විණි. කොටින්ම මේ කරදිය වළල්ලෙන් එහා පාපන්දු ලෝකය හා ගැටීම ශ්‍රී ලංකාවට තහනම් විය. අප හුදෙකලාවේ තනිකර ලෝක පාපන්දුව ඉදිරියට දිව්වේය. එහෙත් මාස ගණනාවක් මේ පිළිබඳව වගේ වගක් නැතිව එකිනෙකාට ඇඟිලි දිගු කරමින් සිටි පාපන්දු බලධාරීන්ගේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇස් පාපන්දුව දෙස ඇරුණේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සහභාගීත්වය ද අපට නැති වීමේ “රතු කට්ටෙට” පැමිණ තිබියදීය.

පාපන්දු තහනමින් ගැලවීමට දමන පදනම

එතෙක් පැරණි ව්‍යවස්ථාවම ‘ඔළුවේ තියාගෙන’ සිටි ඇමැති රොෂාන් රණසිංහ පසුව සම්පූර්ණයෙන් ‘යූ – ටර්න්’ එකක් ගසා නව ව්‍යවස්ථාවට එකඟ විය. එය ෆිෆා අපෙන් බලාපොරොත්තු වූ ප්‍රධාන ඉල්ලීමයි. ඒ සමගම මෙරට පාපන්දු තහනම පිළිබඳ කොළ එළි දැල්වෙන්නට පටන් ගත්තේය. අප ඉහතින් සඳහන් කළ බැද්දගානේ පාපන්දු හමුව පැවැත්වුණේ ඉන් අනතුරුවය. මෙරට පාපන්දු ලීගවල බහුතර නියෝජිතයෝ එතැනට පැමිණියහ. පසමිතුරෝ ලෙස වෙනදා එකිනෙකාට දොස් පවරා ගත්, එකිනෙකා පරයා යන්නට ඡන්දය ඉල්ලූ ඔවුහු එදා සහෝදරත්වයේ අත්වැල් බැඳගත් බව රටට පෙන්වූහ. වැදගත්ම දෙය එම හමුව මතින් තීරණය වූ විශේෂ මහා සභා රැස්වීමයි.

එම මාධ්‍ය හමුව ඇමැතූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමර් මහතා පැවසුවේ මෙවැන්නකි.

“අපි එකතුවෙලා කියලා ලෝකයට පෙන්නන්න ඕන. නිලවරණයේදී තුනෙන් දෙකක බලයක් තමයි ඕනා. ඒත් අපිට 90% කට වැඩිය බලයක් හිමි වෙයි. එහෙම වුණහම අපිට මේ තහනම ඉවත් කරගන්න පහසුයි. ඒත් හැම හොඳ දෙයටම කිහිප දෙනෙක් විරුද්ධ වෙනවා වගේ මේ වැඩේටත් විරුද්ධව කවුරු හරි නැගිටියි. ඒවා අපි ගණන් ගන්නේ නැහැ. අපිට ඕනා මේ තහනමෙන් මිදෙන්නයි. ඊට පසුව අපේ කණ්ඩායම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට යොමු කරන්න ඕන. අපේ ක්‍රීඩකයන් තමයි අපේ ශක්තිය.

පසුගිය සැප්තැම්බර් මස 22 වැනි දා සියලු දෙනාගේ එකමුතුවෙන් සම්මත කරගත් පාපන්දු නව ව්‍යවස්ථාවට අනුව අපි නිලවරණය පවත්වනවා. අනතුරුව නව නිලධාරීන් පත් කර ජාත්‍යන්තරය දැනුවත් කිරීමට කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකාව සහ යේමනය අතර ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ පැවැත්වෙන පළමු තරගයට දින 10කට පෙර අදාළ නිලධාරි මණ්ඩල පත් කිරීමට කටයුතු කළ යුතුයි.”

● නඩු සමථයකට

මේ අතර ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධව අධිකරණයේ පැවති නඩු කිහිපයක් ද පසුගිය බ්‍රහස්පතින්දා සමථයකට පත් කෙරිණි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය එම සම්මේලනයේ ව්‍යවස්ථාව, ක්‍රීඩා පනතේ විධිවිධානයන්ට හා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් කරන ලද නිර්දේශයන් අනුව ලබන මස 16 වැනිදාට පෙර පැවැත්වීමට ක්‍රීඩා බලධාරීහු අභියාචනාධිකරණය හමුවේ එකඟතාවයක් ඇති කර ගත් හ. 2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා ශ්‍රී ලංකාවට සහභාගී වීමට අවස්ථාව සලසා දීම මෙම එකඟතාවයේ මූලික අරමුණයි.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග ඔක්තෝබර් 12 සහ 17 දිනවල පැවැත්වීමට නියමිත වේ. අවම වශයෙන් දින දහයකට පෙර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීම ෆිෆා කොන්දේසිය වේ. එසේම නිලවරණය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් වසරේ දෙසැම්බර් මස 14 වැනිදා නිකුත් කරනු ලැබූ ක්‍රීඩා රෙගුලාසි අදාළ කර නොගැනීමට ද ඇමැතිවරයා දැන් එකඟතාවය පළ කර ඇත.

කෙසේ හෝ දැන් සියලු දෙනා එක මාවතකට පැමිණ ඇත. ඒ මාවතේ අරමුණ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තහනමෙන් මුදා
ගැනීමය. සුජාන් පෙරේරා ලා යළි ජාත්‍යන්තරය සමග පාපන්දු ක්‍රීඩා කරන අයුරු දැක බලා ගැනීම මේ ගමනේ අවසාන ඵලය වෙයි.

කුෂාන් සුබසිංහ


advertistmentadvertistment