පයින් ගහන බෝලේ වෙනුවට කටින් ගහන බෝලේ ලෝකෙට පෙන්නූ පාපන්දු ලියුම

279

ශ්‍රී ලංකා පාපන්දුව ජාත්‍යන්තරයේ තහනම් වී අද (26 වැනිදා)ට දෙමසකට වැඩිය. ක්‍රිඩා අමාත්‍යාංශය, හිටපු පාපන්දු සභාපති වත්මන් පාපන්දු පරිපාලකයන් මෙන්ම ඊටත් පෙර සිටි පරිපාලකයෝද මේ තහනමට හේතු ලෙස විවිධ කරුණු දක්වති. පයින් පහර දී බෝලේ පාස් කර එය ගෝලයක් කරා ගෙන යනවා වෙනුවට මේ පාර්ශ්ව හතර එකිනෙකාට බෝලය පාස් කර තමන් නිදොස්වීමට වෙර දරති. ඔවුන්ගේ මත සහ අදහස් වරින් වර මාධ්‍යයේද පළ වූයේය. රටට වින කෙටුණු මෙම ප්‍රශ්නයේ දී හැමෝම තමන් නිවැරදි යයි කියා අත පිස ගනිති.

එහෙත් එක තැනක නොව තැන් කිහිපයක වරද සිදු වී ඇති බව පෙනේ. වැරදිකරුවෝ එක් අයෙක් පමණක් නොවෙති. පහතින් දැක්වෙන මෙම ලිපිය ඒ සදොස් තැන් මොනවා දැයි මෙන්ම වරද කළෝ කවුරුන් දැයි පසක් කර දෙනු ඇත.

ශ්‍රී ලංකා පාපන්දුව ජාත්‍යන්තරයේ තහනම් කළ බව දක්වමින් අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ මහ ලේකම් ෆත්මා සැමෝරා මහත්මිය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මහ ලේකම් ලෙස එකල කටයුතු කළ උපාලි හේවගේ මහතාට ලිඛිතව දැනුම් දෙන ලද්දේ ජනවාරි 22 වැනිදාය. විද්‍යුත් තැපෑල මගින් එම ලිපිය යොමුකර තිබිණි. ඊට සමගාමීව “ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තත්ත්වය පිළිබඳ” නම් ශීර්ෂය යටතේ තවත් කරුණු දැක්වීමක් අඩංගු ලිපියක්ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලයේ ලේකම් සැමෝරා මහත්මිය විසින් ජනවාරි 22 උපාලි හේවගේ මහතාට යොමු කර තිබිණි.

ආසියානු පාපන්දු සම්මේලනය වෙතද එහි පිටපතක් යොමු කළ බව සඳහන් කර තිබිණි.

නුවණැත්තෝ අවබෝධ කරගනු මැන. පහතින් පළවන්නේ එම ලිපියේ සම්පූර්ණ පරිවර්තනයයි.

හිතවත් මහත්මයාණෙනි,

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) හි තත්ත්වය පිළිබඳ FIFA කවුන්සිලයෙහි කාර්යාංශයේ අවධානය සඳහා යොමු කළ බව මෙයින් දන්වනු කැමැත්තෙමු. (ඉදිරියේදී මෙය කාර්යාංශය ලෙස හැඳින්වේ)

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) ව්‍යවස්ථා සමාලෝචනය කිරීම ආරම්භ කිරීම සඳහා අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ආසියානු පාපන්දු සම්මේලනය (FIFA – AFC) ඒකාබද්ධ මෙහෙයුමක් 2019 ජූනි මාසයේදී ආරම්භ කළ බව මේ අවස්ථාවේදී කාර්යාංශය වෙත දන්වා ඇත. මෙම මෙහෙයුම් ක්‍රියාදාමය තුළ සමස්ත ක්‍රියා පටිපාටිය ඇමැතිවරයාට පැහැදිලි කිරීම සඳහා අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) සහ ආසියානු පාපන්දු සම්මේලනය (AFC) විසින් ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත අනුග්‍රාහක සංචාරයක් සිදුකළ අතර මේ තුළ ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යතාවය පිළිබඳ අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) සහ ආසියානු පාපන්දු සම්මේලනය (AFC) විසින් දන්වා සිටින ලදී. නව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) ව්‍යවස්ථාව මත පදනම් වූ ව්‍යවස්ථා සංශෝධනය 2021 හි පළමු හෝ දෙවන කාර්තුවේදී නිලවරණයක් පවත්වා 2021 ජූලි 31 වන දිනට ප්‍රථම සම්මත කළ යුතු බව අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) සහ ආසියානු පාපන්දු සම්මේලනය (AFC) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) සමග මූලිකවම බලාපොරොත්තු විය.

කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඉහත කරුණු කෙසේ වෙතත් ශ්‍රී ලංකා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින්ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) හට දන්වා ඇත්තේ දැනට පවතින ව්‍යවස්ථාව මත පදනම්ව 2021 ජූලි 31 වන දිනට පෙර, වර්ෂයක කාලයක් සඳහා මහා සභා රැස්වීමක් පවත්වන ලෙසත්, ඡන්දයෙන් පසුව නව ව්‍යවස්ථාව සම්මත කරගෙන කටයුතු කරන ලෙසත්ය. මීට අමතරව අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) සහ ආසියානු පාපන්දු සම්මේලනය (AFC) සමඟ සමීපව කටයුතු කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) ව්‍යවස්ථාව සමාලෝචනය කිරීමට සහ ඉදිරි වසර 04 ක කාලයක් සඳහා ඡන්දය පැවැත්වීමට පෙර එහි අවශ්‍යතාවයන් පෙළ ගැස්වීමට කටයුතු කරන බවය. (ශ්‍රී ලංකා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් 2021 ජූනි 09 වන දින එවන ලද ලිපිය අවධානයට යොමු කරවමු.)

තවදුරටත් කාර්යාංශය නිරීක්‍ෂණය කළ ආකාරයට, අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) සහ ආසියානු පාපන්දු සම්මේලනය (AFC) 2021 ජූනි 28 වන දින සඳහන් කර ඇත්තේ මෙම සංගමය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) නව විධායක කමිටුවක් පත්කර ගැනීම සඳහා අමාත්‍යාංශය සැලසුම් කළ ආකාරයට ඡන්දය පැවැත්වීම (1) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) මහා සභා රැස්වීමක් මගින් තාවකාලිකව වර්ෂයක් සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) ව්‍යවස්ථාව සමාලෝචනය කිරීම හා ක්‍රියාත්මක කිරීම කළ හැකි බවත් (II) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) නව ව්‍යවස්ථාව මගින් 2022 වසරේදී වසර 04 ක කාලසීමාවක් සඳහා විධායක කමිටුව තෝරා පත්කර ගැනීමේ ඉදිරි කටයුතු කරන තාක්, කළ හැකි බවත්ය. අවසානයේදී අන්තර් ජාතික පාපන්දු සම්මේලනය (FIFA) සහ ආසියානු පාපන්දු සම්මේලනය (AFC) විසින් අවධාරණය කරන ලද්දේ රජය විසින් සඳහන් කරන ශ්‍රී ලංකා නීති රාමුව ප්‍රතිසංස්කරණය කිරීමට පෙර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) විසින් ව්‍යවස්ථා සමාලෝචනය අවසන් කළහොත් සම්මත කිරීමට භාජනය වූ නව ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීම සඳහා මෙය ගැටලුවක් නොවන බවය.

කාර්යාංශය තවදුරටත් සඳහන් කරනුයේ 2021 ජූනි 30 වන දිනෙන් පසුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) විධායක කමිටුවෙහි වරම අවසන් වන බවයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) නීති රීති සංශෝධනය සිදුවෙමින් පවතින අතරතුර අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අදාළ නියෝජිතයන් අතර දීර්ඝ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතරතුර 2022 සැප්තැම්බර් 5-8 දින වල අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ (FIFA) මෙහෙයුමක් කොළඹදී පැවැත්වූ බව සහ ගිවිස ගත් ආකාරයට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) මහා සභා රැස්වීමක් පවත්වා නිලවරණයකින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) නව විධායක කමිටුවක් 2022 ඔක්තෝම්බර් අවසන් වීමට පෙර තෝරා ගැනීම සහ ඒ මත අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ (FIFA) සහ ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) අවශ්‍යතාවයන්ට අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) නව ව්‍යවස්ථාව සැකසිය යුතු බවට ගිවිස ගන්නා ලදි. 2022 සැප්තැම්බර් 22වන දින පැවැත්වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) මහා සභා රැස්වීමේදී නව ව්‍යස්ථාව සාර්ථක ලෙස සම්මත කර ගැනීම සිදු විය.

කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරනුයේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණ කමිටුව විසින් 2022 දෙසැම්බර් 22 වන දින, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) නව විධායක කමිටුවක් පත්කර ගැනීමේ නිවරණය 2023 ජනවාරි 14 වන දින විවෘත ඡන්ද ක්‍රමයකින් පැවැත්වීමට නියමිත බව පැහැදිලිව දක්වා ඇත.

කාර්යාංශය සඳහන් කරන ආකාරයට 2022 දෙසැම්බර් 23 වන දින අන්තර් ජාතික පාපන්දු සම්මේලනය (FIFA) සහ ආසියානු පාපන්දු සම්මේලනය (AFC) ඒකාබද්ධව ලිපියක් මගින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) වෙත දන්වා ඇත්තේ විවිධ මාධ්‍ය වාර්තා කිහිපයක සඳහන්ව ඇති ආකාරයට 2022 ඔක්තෝම්බර් අවසානයේදී අධිකරණ නියෝගයක් මගින් ගිවිසගත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) ගමන් මගේ ක්‍රමවේදයන් උල්ලංඝනය වී ඇති බවය. විශේෂයෙන්ම සඳහන් කර ඇත්තේ පෙරදී ගිවිසගත් ආකාරයට තවත් මාස 04 ක් සඳහා විධායක කමිටුව 2023 ජනවාරි 14 වන දින පැවති නිලවරණයෙන් පැරණි ව්‍යවස්ථා නියමයන්ට අනුව පත්කර නොගැනීම එයට පටහැනි බවයි. මේ තුළ අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) සහ ආසියානු පාපන්දු සම්මේලනය (AFC) ඉල්ලා ඇත්තේ අදාළ පාර්ශ්වයන් සමග සුහදශීලීව මත වෙනස් කරන ලද මාර්ගයක් සකස් කරන ලෙසයි. තවදුරටත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) සහ ආසියානු පාපන්දු සම්මේලනය (AFC) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) වෙත කිසිදු තෙවැනි පාර්ශ්වයක අනවශ්‍ය බලපෑමකින් තොරව සංගමයේ කටයුතු පවත්වා ගෙන යන ලෙස මතක් කර දුන් අතර මෙහිදී කීනම් හෝ අනුකූලතාවයක් ඇති නොවන්නේ නම් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) තහනමට ලක් වන බවට අනතුරු ඇඟවීමක්ද කර ඇත. අවසානයේදී 2023 ජනවාරි 12 වන දින ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) ප්‍රතිචාර දක්වමින් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL)විධායක කමිටුව තෝරා ගැනීමේ නිලවරණය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) පැරණි ව්‍යවස්ථාව මත පදනම්ව ශ්‍රී ලංකා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) සමඟ එකඟතාවයට පත් වූ ලෙස සැලසුම් කරන ලද ආකාරයටම 2023 ජනවාරි 14 වන දින මාස හතරක කාලයක් සඳහා පැවැත්වීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් එය අන්තර් ජාතික පාපන්දු සම්මේලනය (FIFA) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) සහ ශ්‍රී ලංකා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් එකඟතාවයට පත් වූ මාර්ග සිතියම මෙයින් අපගමනය වී ඇත.

නව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) විධායක කමිටුව තෝරා පත්කර ගැනීමේ නිලවරණය 2023 ජනවාරි 14 වන දින පැවැත්වූ බවට ජස්වර් උමාර් මහතා අන්තර් ජාතික පාපන්දු සම්මේලනය (FIFA) හට සහ ආසියානු පාපන්දු සම්මේලනය (AFC) හට 2023 ජනවාරි 16 වන දින වාර්තා කර ඇති බව කාර්යාංශය විසින් නිරීක්‍ෂණය කර ඇත. කෙසේ වුවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) නිලවරණ කමිටුව ප්‍රකාශ කර ඇත්තේ උමාර් මහතාගේ නාමයෝජනාව ඔහුගේ සුදුසුකම් මත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) නිලවරණ කමිටුව විසින් පෙර අනුමැතියට පත් කර ඇතත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) මහා සභා නිලවරණය ආරම්භයේදී ශ්‍රී ලංකා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ යැයි කියනු ලබන උපදෙසකට අනුව ප්‍රතික්‍ෂේප කර ඇතැයි කියයි. අමාත්‍යාංශය විසින් දෙනු ලදැයි කියන මෙම උපදෙස තවදුරටත් තහවුරු කිරීමට අපේක්‍ෂකයින්ට හෝ නියෝජිතයින්ට වෙනත් හේතු ඉදිරිපත් කර නැත. තවදුරටත් පෙනී යන්නේ උප සභාපති ධුරය සඳහා ප්‍රතික්‍ෂේප වූ අපේක්‍ෂකයන් දෙදෙනෙකුට ස්වයංක්‍රීයව තේරී පත්වීමට අමාත්‍යාංශය අවසර දී ඇති බවයි.

ඉහත සඳහන් කළ තත්ත්වයන් හි ප්‍රතිඵලයක් වශයෙන් අන්තර් ජාතික පාපන්දු සම්මේලන(FIFA) ව්‍යවස්ථාවේ 14 වන වගන්තියේ (!) ඡේදය සහ 3 ඡේදයන් සහ 16 වන වගන්තියේ 1 වන ඡේදයන්ට අනුව තුන්වන පාර්ශ්වයකගේ අනිසි මැදිහත්වීමක් සිදුවී ඇති බව කාර්යාංශය සලකන ලදී. එබැවින් අන්තර් ජාතික පාපන්දු සම්මේලන (FIFA) ව්‍යවස්ථාව ප්‍රබල ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට 2023 ජනවාරි 21 දින කාර්යාංශය තීරණය කළේය. තවද එම අත්හිටුවීම ඉවත්කිරීම පහත සඳහන් කොන්දේසි සපුරාලීමට යටත්ව සිදු කිරීමට කාර්යාංශය තීරණය කරන ලදී.

(2022 සැප්තැම්බර් 22 වන දින) අලුතින් සම්මත කරන ලද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) ව්‍යවස්ථාව පිළිගැනීම සහ ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව වත්මන් ජාතික ක්‍රීඩා නීතියෙන් නිදහස් කිරීම නිල සහ ලිඛිත වශයෙන් නිත්‍යානුකූලව ප්‍රදානය කළ යුතු බව.

2023 ජනවාරි 14 වන දින පැවැත්වූ මැතිවරණය අන්තර් ජාතික පාපන්දු සම්මේලනය (FIFA) හෝ ආසියානු පාපන්දු සම්මේලනය (AFC) විසින් පිළි නොගන්නා බැවින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) විධායක කමිටුවක් තෝරා පත්කර ගන්නා තෙක් FFSL පරිපාලනය FFSL හි දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම භාරව සිටීම.

(2022 සැප්තැම්බර් 22 වන දින) අලුතින් සම්මත කරන ලද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) විධායක කමිටුවක් සිව් අවුරුදු වරමක් සඳහා සහ විශේෂයෙන්ම රහස් ඡන්දයෙන් තෝරා ගැනීම සඳහා මැතිවරණයක් සංවිධානය කිරීම.

එහි ප්‍රතිඵලයක් ලෙස සහ අන්තර් ජාතික පාපන්දු සම්මේලනය (FIFA) ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තියට අනුකූලව 2023 ජනවාරි 21 වනවිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) හට නැවත දැනුම් දෙන තුරු එහි සියලුම සාමාජික අයිතිවාසිකම් අහිමි වේ. එබැවින් තහනම ඉවත් කරන තුරු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන (FFSL) නියෝජිතයින්ට සහ ක්‍රීඩා සමාජ කණ්ඩායම්වලට තවදුරටත් ජාත්‍යන්තර තරගවලට සහභාගි වීමට අයිතියක් නැත. මෙයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) හෝ එහි සාමාජිකයින් හෝ නිලධාරීන් කිසිවකුට අන්තර් ජාතික පාපන්දු සම්මේලන (FIFA) සහ හෝ ආසියානු පාපන්දු සම්මේලනය(AFC) වෙතින් වන කිසිදු සංවර්ධන වැඩසටහන් පාඨමාලා හෝ පුහුණුවීම්වලින් ප්‍රතිලාභ ලැබිය නොහැකි බවයි.

අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ
මහ ලේකම් ෆත්මා සැමෝරා

advertistmentadvertistment
advertistmentadvertistment