අනියම් පෙමට ඇතිවූ බහින්බස්වීම දුරදිග ගොස් සැමියාගේ පොලු පහරින් එක්දරු මව එතැනමයි

496

අනියම් සබඳතාවක් මුල්කරගෙන ඇති වූ ආරවුලකදී සැමියා පහරදී සිය 24 හැවිරිදි බිරිඳ නිවසේදීම ඝාතනය කර ඇතැයි වෙලම්බඩ පොලිසිය පවසයි. ඝාතනයට ලක්ව ඇත්තේ උඩුනුවර, වෙලම්බොඩ ලොකුඅංග ප්‍රදේශයේ පදිංචි අමාලි ලක්මිණි සේනානායක නමැති 24 හැවිරිදි එක්දරු මවකි.

ඇය හා සැමියා මහියංගණ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර බිරිඳ එම ප්‍රදේශයේ දී ඇතිකරගත් අනියම් සබඳතාව දුරදිග යෑම නිසා සැමියා එහි පදිංචිය වෙනස් කර පෙරේදා (05 දා) බිරිඳ සමඟ වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබේ. මෙය බිරිඳගේ මහගෙදර වන අතර එහි මොවුන් පමණක් සිට තිබේ.

මහියංගණයේ සිට පැමිණි වේලාවේ සිට ඊයේ (6 දා) උදෑසන අට පමණ වනතුරු බිරිඳ ඇගේ ජංගම දුරකථනයේ රැඳී සිට ඇති අතර ඔවුන්ගේ වයස අවුරුදු එකහමාරක් වූ දරුවාට කිරි සෑදීම පවා පමා වී ඇති නිසා සැමියා එම දරුවාට කිරි සාදා දුන් බවද ඔහු පොලිසියට පවසා තිබේ.

අනියම් සබඳතාව නිසා බිරිඳ ජංගම දුරකථනයේ රැඳී සිටින බව දැනගත් සැමියා, ඒ පිළිබඳව විමසීමේ දී ඔවුන් අතර වූ බහින්බස් වීමේදී සැමියා මුළුතැන්ගේ තිබූ දර පොල්ලකින් බිරිඳගේ හිසට ගසා තිබේ. එයින් බරපතළ තුවාල ලැබූ ඇය එම ස්ථානයේම මියගොස් ඇති බව පොලිසිය පවසයි.

වෙලම්බොඩ පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට යන විටත් 28 හැවිරිදි එම සැමියා නිවසේම රැඳී සිට තිබේ. එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය වූ ස්ථානයට ගම්පොළ ස්ථානීය පරීක්ෂණාගාර නිලධාරීන්ද පැමිණ සිටි අතර ගම්පොළ වැඩබලන මහෙස්ත්‍රාත් කාන්තිලතා මහත්මිය විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූවාය. වෙලම්බොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. නලින් අශෝක් ගුණවර්ධන, ගම්පොළ ස්ථානීය පරීක්ෂණාගාරයේ (සොකෝ) ස්ථානාධිපති ප්‍ර.පො.ප. චම්පික විමලරත්න, ප්‍ර.පො.ප. ප්‍රියන්ත බන්දුල, පො.සැ. (12641) ගාමිණී රත්නායක, (20190) නිලන්ත හේරත්, කා.පො.සැ. (2972) ඉනෝකා උඩගෙදර, වෙලම්බොඩ පොලිසියේ උ.පො.ප. අබේසූරිය, පො.සැ. (9688) යටිගම්මන, (56535) අතුල, (38878) අජන්ත, පො.කො. වරුන් වන (91376) කරුණාරත්න, (93632) රණසිංහ, (18869) මුණසිංහ යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.
ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment