මෝටර් රථ සිහින මවා තරුණියගේ එකොළොස් ලක්‍ෂයකට විදලා – වාහනය ගෙදරට ගේන්න පියා පාරත් හදලා

133

දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචි තරුණියකගේ ජංගම දුරකථනයට ඊ-මේල් පණිවිඩයක් එවමින් ඇයට බි්‍රතාන්‍ය සමාගමකට අයත් ලොතරැයි දිනුම් ඇදීමකින් බීඑම්ඩබ්ලිව් මෝටර්රථයක් දිනා ඇති බව පවසමින් රුපියල් එකොළොස්ලක්ෂ හතළිස් එක්දහසක් වංචාකළ පුද්ගලයන් තිදෙනකු මොනරාගල පොලිස් කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් 05දා අත්අඩංගුවටගෙන ඇත.

විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන පැමිණිලිකාරියට 2021 දෙසැම්බර් මාසයේදී බි්‍රතාන්‍ය සමාගමකින් බීඑම්ඩබ්ලිව් මෝටර්රථයක් ලොතරැයියකින් ලැබී ඇති බවට ඊ-මේල් පණිවුඩයක් එවා ඇත. අවස්ථා කිහිපයකදී ඊට අදාළ ලිපි කිහිපයක්ද ව්‍යාජ ලෙස සකසා ඊමේල්කර තිබේ.

පසුව ජයග්‍රහණය කරන ලද මෝටර් රථය නැව් මාර්ගයෙන් ලංකාවට ගෙන ඒමටත්, අනෙකුත් බදු ගෙවීමටත් මුදල් ලබාදෙන ලෙස දැනුම්දී ඇත.

ඒ අනුව අවස්ථා දහයකදී බැංකු තුනක  ගිණුම්වලට රුපියල් එකොළොස් ලක්ෂ හතලිස් එක්දහසක් පැමිණිලිකාරිය විසින් බැංකු ගතකර ඇත. මෝටර්රථය නිවසට ගෙන ඒම සඳහා පැමිණිලිකාරියගේ පියා විසින් නිවසට පිවිසෙන මාර්ගයද සකස්කර ඇත.

මාස දෙකක් ගෙවී ඇතත් මෝටර් රථය නොලැබුණ නිසා තරුණිය විසින් සිද්ධිය පිළිබඳව මොනරාගල පොලිස් කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලිකර ඇත.

සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක විල්ෆ්‍රඩ් සිල්වා මහා බැංකු ගිණුම්වල තොරතුරු සහ දුරකථන ඇමතුම්වල තොරතුරු ලබාගෙන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු කොළඹ, මාලිගාවත්ත සහ මොරටුව ප්‍රදේශවලදී අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් එම ප්‍රදේශවලම පදිංචිකරුවන් වේ.

තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. අත්අඩංගුවට ගත් සැකකරුවන් මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මොනරාගල නියෝජ්‍ය පොලිස්පති එස්. ඩී. එස්. පී. සන්දනායක මහතාගේ උපදෙස් පිට ප්‍රධාන පොලිස් පරීක්ෂක විල්ෆ්‍රඩ් සිල්වා මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment