2024 පාසල් පළමු වාරය පෙබරවාරි 21 දා

203

ශිෂ්‍යත්වය, සා/පෙළ, උසස් පෙළ එම වර්ෂයේදීම

2024 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පෙබරවාරි 21දා ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එසේම 2024 වර්ෂයට අදාළ පහේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන් 2024 වර්ෂය තුළම පවත්වා අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (28 දා) පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා පැවසීය.

2024 වර්ෂයට අවශ්‍ය පෙළපොත් මුද්‍රණය මේ වනවිට ආරම්භ කර ඇති බව ද ඒ මහතා කීය. රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මේ වනවිට මුද්‍රණ කටයුතු ආරම්භ කර ඇතත් පෞද්ගලික අංශයට ලබන මාසයේදී ටෙන්ඩර් කැඳවා පෙළපොත් මුද්‍රණය භාරදෙන බවත් මේ වසරේ නොවැම්බර් මාසය වනවිට පෙළපොත් මුද්‍රණය අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

විදුහල්පතිවරුන්ට පාසල්වල මූල්‍ය හා පරිපාලන කටයුතු පහසුවෙන් කළමනාකරණය කර ගැනීම සඳහා රාජ්‍ය සේවයේ දැනට සිටින සංවර්ධන නිලධාරීන් අතරින් 12,000ක් නව සේවා ව්‍යවස්ථාවක් සහිත කාර්ය මණ්ඩලයක් ලෙස පාසල්වල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුව පත්කරන බවත් හෙතෙම පැවසීය.

එසේම පාසල්වල ජල හා විදුලි බිල් සඳහා ඉදිරි අයවැය මගින් යම් සහනයක් සලසා ගැනීමට ද මැදිහත් වී ක්‍රියාකරන බවත් ඇමැතිවරයා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment