Channel – 4 චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

136

– සභාපතිත්වයට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්

චැනල් 4 නාලිකාව විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10 දා) පියවර ගත්තේය.

2019 වසරේ පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම සඳහා සාධනීය පියවරක් තබමින් ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත්කර තිබේ.

පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස මහ මොළකරුවකු සිටින බවට හිටපු නීතිපතිවරයකු ද මෙවැනි ප්‍රකාශක් කර ඇති බැවින් මෙම ගැටලු පුළුල් ලෙස අවධානය යොමුකර කඩිනමින් විසඳීම සඳහා මෙම කැළඹිලි සහගත ප්‍රකාශයන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට ද රජය අපේක්‍ෂා කර ඇත.

පවතින තත්ත්වයන්හි බරපතළකම අනුව දැනට පවතින සියලු තොරතුරු පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදුකිරීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අමතරව ඉදිරියේදී නිකුත් වීමට නියමිත මෙම වාර්තාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් අහිංසක ජීවිත 269 කට ආසන්න ප්‍රමාණයක් අහිමි වූ අතර පුද්ගලයන් රැසකට තුවාල සිදුවිය.

මෙම තීරණාත්මක විමර්ශනය සිදුකරන අතරම වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටුකිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment