අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මානසික රෝගියාට ගහලා මැරුවේ වතුර ඉස්ස නිසාද?

786

කට්ටිය වටවෙලා ගහන අයුරු සී.සී.ටී.වී.වල

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු පහරකෑමට ලක්ව මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක, වටරැක, සමනලතැන්න පදිංචිව සිටි ඔස්නි නානායක්කාර නමැති 47 හැවිරිදි එක්දරු පියෙකි.

දීර්ඝ කාලයක සිට මානසික රෝගයකින් පෙලී ඇති මෙම පුද්ගලයා රෝගය උත්සන්නවීම නිසා පසුගිය 20 වැනිදා රෝහලට ඇතුළත් කර තිබිණි.

කෙසේ වෙතත්, පසුගිය 25 වැනිදා අලුයම අදාළ සිද්ධිය සිදුව ඇති අතර, මොහු නාන කාමරය තුළ ලිස්සා හිස වැදීමෙන් මියගොස් ඇති බව රෝහල් බලධාරීන් ඥාතීන්ට පවසා ඇත.

මේ ප්‍රකාශය ගැන ඥාතීන් තුළ සැකයක් මතුවීම නිසා ඔවුන් මේ ගැන මුල්ලේරියාව පොලිසියට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව පෙරේදා එම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා මෙම මරණයට අදාළව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.

මොට ආයුධවලින් පහරදීම නිසා සිදුවූ බහුවිධ සංකූලතා හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට එහිදී තහවුරු වී ඇත.

මෙහිදී අදහස් දැක්වූ ඥාතියෙක් මෙසේ පැවසීය.

මනුස්සයෙක් වැටෙනවා නම් එක අතකට වැටෙන්නේ. ඉස්සරහටයි පස්සටයි දෙපාරක් වැටෙන්න බැහැනේ. මෙයාගේ ඔළුවේ දෙපැත්තෙම තුවාල තිබුණා. කට්ටියක් වට වෙලා ගහන දර්ශන සී. සී. ටී. වී. වල තියෙනවා. මානසික රෝගියෙකුගෙන් වන දේවල් මේ රෝහලේ සේවකයන්ට ඉවසන්න බැහැ. ඒ වගේ අය තමයි මෙතන ඉන්නේ. මෙවැනි රෝගීන් ගැන මීට වඩා සංවේදී වෙන්න ඕන. බෙහෙත් ගන්න ආපු අපේ කෙනාට අන්තිමට යන්න වෙලා තියෙන්නෙ මිනී පෙට්ටියෙන්.

මානසික රෝගී තත්ත්වයෙන් පෙලුනු මෙම රෝගියා වතුර ඉසීමක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇතැයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත.

මෙම මියගිය පුද්ගලයාගේ බිරිඳ ද මීට වසර 2 කට උඩදී මියගොස් තිබේ.

ඔවුන් දෙදෙනාගේ වියෝවත් සමග ඔවුන්ගේ 11 හැවිරිදි පුත්‍රයාට තම දෙමාපිය රැකවරණය ද අහිමිව තිබේ.

අප මේ සම්බන්ධයෙන් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මියගෙන් තොරතුරු විමසීමට ඊයේ කීපවතාවක්ම උත්සාහ ගත්ත ද එය අසාර්ථක විය. දුරකථනයට පිළිතුරු දුන් අය කියා සිටියේ ඇය රැස්වීමක සිටින බවය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු, ප්‍රියන්ත මද්දුමආරච්චි – මුල්ලේරියාව

advertistmentadvertistment
advertistmentadvertistment