පොලොන්නරුවේ ඇති මහා පරිමාණ එක් සහල් මෝලක් පමණක් තවමත් රජයේ පාලන මිලට වඩා රුපියල් 10ක්, 15ක් සහ 20ක් වැඩියෙන් අත්තනෝමතික ලෙස සහල් විකුණන බවට නිරීක්ෂණය කර ඇති බවත් එම මෝල සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ තීරණයක් ගන්නා බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25දා) කීය.
එම සහල් මෝල පසුගිය සමයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් රුපියල් බිලියන 15කට වැඩි මුදලක් ණයට ලබා ගෙන ඇතැයි ද ඔහු කීවේය. රජය විසින් අධීක්ෂණය කරනු ලබන අනෙක් මහා පරිමාණ සහල් මෝල් දහහතරම රජයේ පාලන මිලට සහල් නිකුත් කරන බව ද හෙතෙම කියා සිටියේය.
එබැවින් වැඩි මිලට සහල් නිකුත් කරන මෙම මෝල සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේ වනවිටත් කෙරෙන බවත් එම සහල් මෝල විසින් පෙරේදා (24) දිනයේදී සහල් නිකුත් කරන ලද වෙළෙඳසල් 38කින් මිල පිළිබඳ තොරතුරු ලබා ගත් බවත් විපක්ෂ මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂවෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේය.
මේ අතර 2015 වසරේ සිට මේ දක්වා එක්සත් රාජධානිය, ඉතාලිය, ඇමරිකාව, ජර්මනිය, ජපානය, චීනය, මියන්මාරය, බංගලාදේශය, ඉන්දියාව ඇතුළු රටවල් 24කින් විවිධ සහල් වර්ග මෙටි්‍රක් ටොන් විසිහතර ලක්ෂ හැත්තෑදෙදහස් හත්සිය හැටදෙකක් ගෙන්වා ඇතැයි ද ඒ මහතා පැවසීය. ගතවූ වසරේ (2024) පමණක් සහල් ගෙන්වීම සඳහා මිලියන 24,278ක මුදලක් වැයවී ඇතැයි ද ඔහු කීවේය.
අකිත පෙරේරා