පාසල් වොලිබෝල් කණ්ඩායම් 4000 ක් සටනට

61

DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල්

22 වැනි DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතා තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග ලබන මස 15 සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට තිබේ.

ඒ සඳහා අයැදුම්පත් භාර ගැනීම මේ මස 31 දක්වා සිදු කිරීමට තරග සංවිධායකයන් පියවර ගෙන ඇත.

අදාළ තරගාවලිය අවුරුදු 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ කාන්තා සහ පිරිමි ලෙස වයස් කාණ්ඩ 5 ක් යටතේ ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව දිස්ත්‍රික් මට්ටමේ තරග ජුනි 15 සිට 30 දක්වා සෑම සති අන්තයකදී ද ජුලි 6 සිට 21 දක්වා සෑම සති අන්තයකදී ද පැවැත්වීමට සැලසුම් කොට ඇත.

දිස්ත්‍රික් කණ්ඩායම් අතරින් සෑම වයස් සීමාවකම ශූරතාව සහ අනුශූරතාව දිනන කණ්ඩායම් දෙක ජාතික මට්ටම සඳහා සුදුසුකම් ලබනු ඇත.

මේ අතර ජාතික මට්ටමේ තරග අගෝස්තු 7 සිට 11 දක්වා ක්‍රියාත්මක වන අතර සෑම වයස් සීමාවකම අවසන් තරග නොවැම්බර් 2 සහ 3 දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කොට ඇති බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක පවසයි.

1999 වසරේදී පාසල් කණ්ඩායම් 198ක් සහභාගිත්වයෙන් ආරම්භ වූ මෙම තරගාවලිය යටතේ මේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට වැඩි පිරිසක් ජාතික මට්ටමින් වසරෙන් වසර ශ්‍රී ලංකා වොලිබෝල් ක්ෂේත්‍රයට අවතීරණ වී ඇත.

මෙවර තරගාවලිය සඳහා ද පාසල් කණ්ඩායම් 4000ට වැඩි සංඛ්‍යාවක් වයස් කාණ්ඩ 5 ක් යටතේ තරග වදිනු ඇතැයි බලධාරිහු අපේක්ෂා කරති.

අදාළ තරගාවලිය සඳහා අයැදුම්පත් ශ්‍රී ලංකාව පුරා පිහිටි සියලුම ඩී.එස්.අයි. ප්‍රදර්ශනාගාර වෙත භාරදිය හැකි අතර අවශ්‍ය තොරතුරු [email protected] යන ඊමේල් ලිපිනයෙන් විමසිය හැක.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment