ඉන්දියාව සමග සටනට ඒමට ඔස්ට්‍රේලියාවට ලකුණු 213ක ඉලක්කයක්

117

ලබන 19 වැනිදා පැවැත්වෙන 2023 ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට ඔස්ට්‍රේලියාට ලකුණු 213 ක ඉලක්කයක් හිමි විය.

ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 212 කට දැවී ගියහ. එම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ලබන 19 දා ඉන්දියාව සමග අවසන් තරගයේදී තරග වැදීමට නියමිතය. දකුණු අප්‍රිකා කණ්ඩායමේ කඩුලු හතරක් ලකුණු 24 කට බිඳ වැටී තිබියදී ලකුණු 101 ක් ලබා ගැනීමට ඩේවිඩ් මිලර් සමත් වූයේය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජොස් හේස්ල්වුඩ් සහ මිචෙල් ස්ටාර්ක් කඩුලු 3 බැගින් දවා ගත්හ. පෙරේදා ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති පළමු අවසන් පූර්ව තරගයේදී මොහොමඩ් ශාමි ලකුණු 57 කට කඩුලු 7 ක් දවා ගනිමින් ඉන්දියාව අවසන් මහා තරගය කරා රැගෙන ගියේය. නවසීලන්තය ලකුණු 70කින් පරාජය කරමින් එම අවස්ථාව උදා කර ගත් ඉන්දියාව එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට පිවිසි සිවුවැනි අවස්ථාව ලෙස පෙරේදා ජයග්‍රහණය වාර්තා වූයේය. මින් පෙර 1983, 2003 සහ 2011 වසරවල ඔවුන් අවසන් තරගයට පිවිසි අතර, ඉන් දෙවතාවකදීම ශූරයන් බවට පත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment