පැය 4ක් පාර වසාගෙන ග්‍රාම නිලධාරියා වී වේළලා

4059

පොලිසියෙන් ඇවිත් පාර ඇරදෙයි

කිළිනොච්චියේ ග්‍රාම නිලධාරිවරයකු සිය බලය අනිසි ලෙස පෙන්වමින් කිළිනොච්චිය – පරන්තන් මාර්ගය පුරා වී ගෝනි ඇතිරීම නිසා ඊයේ (10 දා) උදෑසන සිටම එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

මේ හේතුව නිසා පාසල් දරුවන්ට හා රජයේ සේවකයන්ට අදාළ ස්ථාන වෙත යෑමට නොහැකි වූ බව කිළිනොච්චියේ කණ්ඩාවලෙයි ප්‍රදේශයේ වැසියෝ කියා සිටියහ.

මෙම ග්‍රාම නිලධාරියාගේ කුඹුරෙන් අස්වැන්න නෙළාගෙන වී තොග ගෝනිවල අසුරා නිවස වෙත

රැගෙන එමින් තිබියදී වී තොගය ඇළකට පෙරළීම නිසා වී ගෝනි තෙත් වී තිබේ. තෙත් වූ වී ගෝනි වියළා ගැනීම සඳහා ඔහු එම වී ගෝනි පාර මැදම ගොඩබා පසෙකට වී බලාසිටීම නිසා මහා මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.

එම මාර්ගයේ ගමන් ගත් වාහන පැය තුනක් තිස්සේ වෙනත් විකල්ප මාර්ගයකින් ගමන් කොට ඇති අතර එසේ ගමන් කළ වාහන අතර කිළිනොච්චිය රෝහල වෙත රෝගියකු ගෙන ගිය ගිලන් රථයක්ද වූ බව කණ්ඩාවලෙයි ජනතාව පවසති. පැය හතරකට පමණ පසුව මහා මාර්ගයේ ගමන් කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු ග්‍රාම නිලධාරියාට බැණ වැදීමෙන් පසුව ඔහු සිය සේවකයන් ලවා වී ගෝනි පාරෙන් ඉවත් කරගෙන තිබේ.

මෙකී ග්‍රාම නිලධාරියා නිතරම සිය බලය අනිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් ජනතාවට පීඩාවන ලෙස කටයුතු කරන පුද්ගලයකු බව කිළිනොච්චියේ කණ්ඩාවලෙයි ජනතාව සඳහන් කරති.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment