ජයග්‍රහණය පමා වීමෙන් යුද්ධය රුසියාව තුළට…ඉදිරි දෙසතියේ අලුත් යුද්ධයක්…

1393
යුක්රේනයේ ස්හොරොඩ් හි අවතැන් වූ සිසුන් ඉගෙනුම ලබන රජයේ පාසලක් ළමුන් කණ්ඩායමක් සමග. ජිල් බිඩෙන් සහ යුක්රේන ජනාධිපති බිරිඳ ඔලේනා සෙලෙන්ස්කා

බයිඩන් භාර්යාව යුක්රේනයට ඇවිත්…
පෙන්ටගනයේ ආයුධ ගබඩා තුනෙන් එකක් යුක්රේනයට

පින්ලන්තය ද දැන් සිටින්නේ යුක්රේනය සේම තර්ජිත තත්ත්වයක බව කිව හැකිය. මූලික තර්කනයක් ලෙස ගත් විට යුක්රේනය, නේටෝ සංවිධානය සඳහා එක්වීමට ගත් තීන්දුව හේතුවෙන් පුටින් සිය යුද බලය ලෝකයටම ප්‍රදර්ශනය කිරීම සඳහා ගත්තේ නමුදු, ‘නේටෝ ගොඩ වැඩිකිරීමේ’ එක්සත් ජනපද සැලසුම සඳහා පදනම වැටෙන්නේ, 1992 දී එක්සත් ජනපදය සම්මත කර ගන්නා ලද, ‘ඕනෑම අනාගත ගෝලීය තරගකරුවකුගේ මතුවීම’ අවහිර කිරීමේ සිය අභිප්‍රාය ලේඛනගත කර සම්මත කිරීමත් සමගය. 1990-91 පර්සියානු ගල්ෆ් යුද්ධයෙන් පසුව 1999 දී සර්බියාවට එරෙහි යුද්ධය, 2001 දී ඇෆ්ගන් ආක්‍රමණය, 2003 දී ඉරාකයට එරෙහි දෙවන යුද්ධය, 2011 දී ලිබියාවට එරෙහි යුද්ධය සහ සීඑයිඒ සහාය ලබාගත් සිරියාවේ සිවිල් යුද්ධය සඳහා එක්සත් ජනපදය යොමුව තිබුණි.

රුසියාව හා චීනය සමග සෘජු ගැටුමක් සඳහා එක්සත් ජනපදය වසර ගණනාවක් තිස්සේ සැලසුම් කරමින් සිටි බවට, මූලෝපායික ලේඛනවල සඳහන් වන කරුණ පිළිබඳ කිසිදු සඳහනක් මාධ්‍යයේ කොතැනකවත් සොයාගත නොහැක. රුසියාව වෙත යුක්රේන ආක්‍රමණය සඳහා, විරෝධය දක්වා සිටින බටහිර මාධ්‍ය සහ විචාරකයන් එක්සත් ජනපදයේ මෙම ප්‍රවේශය සිය කියැවීම සඳහා ඇතුළත් කර නොගැනීමට ප්‍රවේශම් විය. 2016 දී ආරම්භ කර එක්සත් ජනපදය, සිය න්‍යෂ්ටික අවි ගබඩාව ඩොලර් ටි්‍රලියන ගණනක දැවැන්ත මුදල් වැය කරමින් ප්‍රසාරණයක් සිදු කළේය. ඊට, සටන් බිමේදී භාවිතා කළ හැකි කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික අවි නිර්මානය කිරීම ද ඇතුළත් විය. 2018 දී, එක්සත් ජනපදය අතරමැදි පරාස න්‍යෂ්ටික බළකා (INF) ගිවිසුමෙන් ඉවත් වූ අතර නැගෙනහිර යුරෝපයේ රටවල සිට, ප්‍රධාන රුසියානු නගරවලට පහර දිය හැකි මිසයිල සංවර්ධනය කිරීම සඳහා අත්හදා බැලීම් ආරම්භ කළේය.

මේ සියල්ල දෙස, රුසියාව සහ චීනය පමණක් නොව එක්සත් ජනපද විරෝධය හිස මත දරාගත්, නොහික්මුණු උතුරු කොරියාවද බලා සිටියේ, එක්සත් ජනපදය තබන තබන පියවරක් පාසා, තමන් ද සන්නද්ධ වෙමිනි. දැන් එළඹ ඇත්තේ මෙසේ තරගයට සන්නද්ධ වීමේ ව්‍යාපාරය අවසන්ව, සංදර්ශනය සඳහා තිරය විවර වන මොහොතය.

රුසියන් උපකල්පනය යුක්රේනයේදී එලෙසම ඉටු වන්නේ නැත. යටත් වෙතැයි සිතා සිදු කළ ප්‍රහාරයට, ප්‍රතිප්‍රහාර ලබා දීම සඳහා යුක්රේන් ජනාධිපති සෙලෙන්ස්කි ගත් තීරණය, හාස්‍ය රංගන ශිල්පියා, තිරයේ වීරයා බවට බටහිර මාධ්‍ය ලියන තත්ත්වයක් දක්වා දිගු විය.

රුසියානු හිතවාදියෙක් වන බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලු පවසා තිබුණේ, රුසියාව අපේක්ෂා නොකළ ආකාරයෙන් යුද්ධය දික් ගැස්සෙමින් තිබෙන බවය. මේ සඳහා හේතුව වන්නේ යුක්රේනයට දැන් ආවේශ වී සිටින්නේ එක්සත් ජනපදය වීමය. ඕනෑම පිරිවැයක් දරා, පුටින් යුක්රේනයේදී පරාජය කිරීම එක්සත් ජනපද උපාය මාර්ගය වී තිබේ. මතුව ඇති තත්ත්වය අනුව, පුටින් සහ රුසියාව තමන්ට අවශ්‍ය මාවතට ගෙන එම සඳහා ‘අඩුව’ ලෙස එක්සත් ජනපදය ගෙන ඇත්තේ යුක්රේනයය. රුසියානු ජෙනාරල්වරු විශාල පිරිසක් යුක්රේනයේදී වෙඩි කා මියයන්නේ එක්සත් ජනපදය විසින් යුක්රේනය සඳහා ලබාදෙන ඉලක්ක හේතුවෙන් බව බටහිර මාධ්‍ය පෙන්වා දෙන ලද්දේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තා උපුටා දක්වමිනි. මේ සියල්ලෙන්ම කියවෙන්නේ ‘හඬ සෙලෙනේස්කිගේ වුවත් අත බයිඩන්ගේ’ බවය. රුසියානු අසල්වැසි සහ පුටින් හිතවාදී, මෙන්ම රුසියානු හමුදා සඳහා උතුරු දෙසින් යුක්රේනයට පිවිසීමට සිය රාජ්‍යය හරහා මාවත විවර කරදුන්, බෙලරූසියානු ජනාධිපතිවරයා පවා ‘දික් ගැස්සීම’ සම්බන්ධයෙන් ගැස්සී සිටින බව කිව හැකිය.

එක්සත් ජනපදය සහ යුරෝපය එකා මෙන් දැන් ප්‍රවේශ වී ඇත්තේ, රුසියාව තනිකර දැමීම පිණිසය. ඒ සඳහා යුක්රේන පන්නයේ තවත් කර්තව්‍යයන් ගණනාවක් මේ බටහිර බලඇණිය සිදු කරමින් තිබේ. රුසියාව ඊළඟ වටයේදී ආක්‍රමණය කළ හැකි සහ ප්‍රහාර එල්ල කළ හැකි යැයි හඳුනාගෙන ඇති රුසියානු අසල්වැසියන් වන පෝලන්තය, පින්ලන්තය දැන් තබාම සූදානම් ශරීරයෙන් තැබීම නේටෝවේ එක් වෑයමකි. මේ වන විට පින්ලන්තය සිය කැමැත්ත නේටෝ වෙත ලබාදී තිබේ. පින්ලන්ත අගමැතිනි සන්නා මරීන් මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් යෙල්ස්ටින් සමග මේ වන විටත් පින්ලන්තය සහ ස්වීඩනය ආරක්ෂක ගිවිසුම් අත්සන් කර අවසන් වීමෙන් පෙනී යන්නේ, එක්සත් ජනපදය සහ නේටෝව එකතුව රුසියාව සඳහා එල්ල කරන තර්ජනයේ තරමය.

කොන්ග්‍රස් සභික මයික් ගැලගර්, බයිඩන් පරිපාලනයට චෝදනා එල්ල කරමින් පවසන ලද්දේ, සිය අවි බලය සපුරා යුක්රේනය වෙත ලබාදෙමින් එක්සත් ජනපදය අනවශ්‍ය ආකාරයෙන් තමන්ගේ ආයුධ ගබඩා හිස් කර ගන්නා බවය. චීනය විසින් තායිවානය ආක්‍රමණය කරන විට ඒ සඳහා එක්සත් ජනපදය මෙම තත්ත්වය අනුව ක්‍රියා කරනුයේ කෙසේ දැයි රිපබ්ලිකන් පාක්ෂික ගැලගර් ප්‍රශ්න කරමින් සිටියි. යුද අවි විශ්ලේෂක වාර්තා සඳහන් කරනුයේ පෙන්ටගනය සතු අවි බලයෙන් තුනෙන් එකක්, යුක්රේනය සඳහාම වන විට ලබාදී ඇති බවය. ‘යුද්ධය දික් ගැස්සී’ ඇත්තේ එක්සත් ජනපදයේ මෙම අවි පොම්ප කිරීම අනුව බව දැන් කිව හැකිය. මේ සම්බන්ධයෙන් රුසියාව ප්‍රකාශ කර ඇත්තේ, යුද්ධය සඳහා යුක්රේනය වෙත ලබා දෙන ඕනෑම ආධාරයක් සිය ඉලක්කය වනු ඇති බවය.

යුද ආධාර පමණක් නොව යුක්රේනය දිරිගැන්වීම සඳහා ද එක්සත් ජනපදය මේ වන විට සිය උපාය මාර්ග දියත් කර තිබේ. බයිඩන් ආර්යා ජිල් බයිඩන්, පෙර දැනුම් දීමකින් තොරව යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණෙන ලද්දේ ඒ අනුවය.ජිල් බයිඩන් ආර්යාව පිළිගනු ලැබුවේ යුක්රේන ජනාධිපති ආර්යා ඔලේනා සෙලෙන්ස්කී විසිනි. මෙවැනි පියවරයන් අනුගමනය කරමින් එක්සත් ජනපදය වෙහෙස වන්නේ, පුටින්, ඔහුගේ කලාපය තුළම හිලෑ කර ගැනීමට හෝ රුසියානු බලය සිය උපාය මාර්ගය සඳහා අවශ්‍ය ආකාරයෙන්, යුක්රේනය හරහා තබා ගැනීමටය. පුටින්ගේ ඉලක්කයක් බවට එක්සත් ජනපදය පත් නොකර ගැනීමේ සිය අවශ්‍යතාවය වෙනුවෙන් වෙහෙසෙන බයිඩන් පරිපාලනය, පුටින් දමනය එවැනි පොම්ප කිරීම් මගින් පමණක් සිදු කළ නොහැකි බවද දන්නා බව පෙනී යන්නේ, සී.අයි.ඒ. ප්‍රධානි බිල් බර්න්ස් පවසා තිබුණේ, පුටින් පරාජය භාර ගන්නා පුද්ගලයකු නොවන බවය.

පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. රුසියන් හමුදාවේ ඉලක්කය වූයේ යුක්රේනයේ කිව් අගනුවර ආක්‍රමණයයි. කෙසේ නමුත් තවමත් එය නොහැකිවී ඇති බවත්, රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට පත් වී ඇති බවත් සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී බිල් බර්න්ස් පැහැදිලි කරයි.

‘රුසියාව න්‍යෂ්ටික බලවතෙක්. යුක්රේනය ජය ගන්න බැරි වුණොත්, රුසියන් ජනාධිපති පුටින් යුක්රේනයට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්. එසේ නොවන්නත් පුළුවන්. හරියටම ඒක තහවුරු කරන්න බැහැ. කෙසේ නමුත් එක් දෙයක් පැහැදිලියි. පුටින් පරාජය භාර ගන්න කෙනකු නම් නොවෙයි‘ යැයි ඇමෙරිකන් බුද්ධි අංශ ප්‍රධානියා අවධාරණය කර තිබුණි.

මේ අනුව කියවෙන්නේ යුක්රේනයෙන් පමණක් ප්‍රශ්නය අවසන් නොවනු ඇති බවය.

දැනට ඇති තත්ත්වය අනුව රුසියාවට සිය ආක්‍රමණය පස්සට ඇද ගැනීමට නොහැකිය. එය රුසියාන් අභ්‍යන්තරය තුළ පුටින්ගේ දේශපාලන අවකාශය නිමා කරනු ඇති අතර, ඒ හා සමග එක්සත් ජනපදය තමන්ට අවශ්‍ය පන්නයේ පාලනයක් රුසියාව තුළ ගොඩනඟා ගන්නවාද ඇත. මේ නිසා යුක්රේන යුද්ධය තවත් දිශානති කිහිපයක් දක්වා වර්ධනය කර ගැනීමට හෝ යුක්රේනය වෙත ‘හිරෝෂිමා පන්නයේ’ පාඩමක් උගන්වා, වැඩේ අහවර කර ගැනීමට පුටින් යොමු වෙනවා ඇත. එසේ වූ පමණින් ද පුටින් නතර වේයැයි සිතීම අපහසු වන්නේ, එවැනි පරාජයක් යුක්රේනය අත්පත් කරගතහොත්, ඒ සඳහා එක්සත් ජනපදයට ද ඔහේ සිටීමට නොහැකි වන හෙයිනි. තව මාස කිහිපයක් තුළ චීනය ද තායිවානය දෙසට, යුක්රේන මට්ටමේ පිළිවෙතක් අනුගමනය කිරීම සඳහා පෙළඹුනහොත්, එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඇණියට සිදු වනුයේ, දෙකොන පත්තු වෙන විලක්කුවක් දරා ගෙන ලෝකය මෙහයවීමටය. මේ සියල්ල කියා පානු ලබන්නේ න්‍යෂ්ඨික අවියක් පත්තු වීමේ දුර්ලභ සහ අවසනාවන්ත අවස්ථාවක් සඳහා ‘පීත්ත පටිය’ සරසා ඇති බවය.

එන්න එන්නම ‘නැකත’ ළංකරමින් පසුගිය නව වෙනිදා, ජී – හත නායකයෝ රුසියාව තව තවත් දඬු අඬුවට තෙරපනු ලැබූහ. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ජී – හත රාජ්‍ය නායකයන් අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන ලද රැස්වීමකදී, රුසියාවට නව සම්බාධක පැනැවීමට ජී – හත නායකයෝ තීරණය කළහ. ඒ අනුව රුසියානු තෙල් ආනයනය ක්‍රමානුකූලව නතර කිරීමට හෝ තහනම් කිරීමට මෙන්ම, ජී – හත නායකයෝ ඒකමතිකව කැමැත්ත ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මුල පටන්ම රුසියානුවාදී බෙදුම්වාදීන් විසින් අල්ලාගෙන සිටි යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශ වන ඩොනෙට්ස්ක් සහ ලුයන ප්‍රදේශ තවත් පුළුල් කරමින් ඩොන්බාස් ප්‍රදේශය තම අණසක සඳහා යටත් කරගැනීමට රුසියානු හමුදා මේ වන විට සටන් කරමින් පවතියි. ට්ම් සමගම යුක්‍රේන හමුදාව සාර්ථක ප්‍රතිප්‍රහාරයක් ලෙසායම් හි වයඹ දෙසින් පිහිටි කර්කිව් නගරය වටා, රුසියාවේ දේශසීමාව දෙසට ගමන් කර, රුසියානු කාලතුවක්කු කිහිපයක් නගරයෙන් ඉවතට තල්ලු කර ඇත. මෙය වෙනත් ස්ථාන සඳහා වන රුසියානු ප්‍රහාරාත්මක මෙහෙයුම් මන්දගාමී කරමින්, සැපයුම් මාර්ග ආරක්ෂා කිරීම සඳහා කලාපයේ තම ස්ථාන ශක්තිමත් කිරීමට රුසියාවට බල කෙරෙනු ඇත.

මේ අනුව රුසියාව පැමිණි ගමන් මග දැන් වෙනසකට භාජනය වී තිබේ. යුක්රේනය ද ආරක්ෂාකාරී පිළිවෙතින් එහාට ගොස් ප්‍රහාරත්මක ඉසව්වක් සඳහා ප්‍රවේශ වීම මෙහිදී දැක ගත හැකිය. එය බොහෝ විට එක්සත් ජනපද සහ නේටෝ උපාය මාර්ගය වනු ඇත. එසේ රුසියාව දෙසට යුක්රේනය ලවා පීඩනය ගෙන ඒම හෙවත් යුද්ධය රුසියාව තුළට තල්ලු කිරීම සඳහා වන සැලසුමක් ලෙස බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ පින්ලන්තය, ස්වීඩනය සමග අත්සන් කරන ලද ගිවිසුම සඳහන් කළ හැකිය. එය පින්ලන්තය වෙත රුසියානු ප්‍රහාරයක් දියත් වුවහොත් බ්‍රිතාන්‍ය සහය ලබාදීමට අමතරව, රුසියානු මායිමේ පිහිටි පින්ලන්තයේ සිට නේටෝ හමුදාව රුසියාව දෙසට ඇතුල් කිරීම සඳහා ප්‍රවේශ මාර්ගයක් වන බව කිව හැකිය. කෙසේ වෙතත් ඉදිරි දෙසතිය තීරණාත්මකය. යුක්රේනය අල්ලා ගැනීම සඳහා රුසියාවට වූ පමාව සහ සටන් බිම රුසියාව දෙසට තල්ලු කිරීම සඳහා වන වුවමනාව යන ආස්ථාන දෙකම එම දෙසතියේ පැහැදිලි වනු ඇත.

ජයග්‍රහණය පමා වීමෙන් යුද්ධය රුසියාව තුළට…ඉදිරි දෙසතියේ අලුත් යුද්ධයක්…

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment