පිකෝ මංපෙතේ ආශ්චර්ය

16

ඇවිද්ද පය දහස් වටී කියන්නේ අපේ පැරණි ආප්තෝපදේශයක්. එයින් කියන්නේ ඇවිදින කෙනා පොළොවේ පය ගහපු පරිණත, වගේම ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වන වග සහ එය සමාජ වටිනාකමක් නිර්මාණය කරන බව. එනිසා වෙන්න ඇති ඇවිදින එක විශේෂයෙන්ම පා ගමනෙන් සංචාරයේ යෙදීම අපේ සංස්කෘතියේ වැඩි තැනක් හිමි කරගෙන තිබිලා තියෙන්නෙ. අපි, අද වගේ සන්නවේදන මාධ්‍ය රාශියක වල්මත් වෙලා නොසිටි කාලෙක සහ බහුතරයක් මිනිසුන්ට ප්‍රවාහන මාධ්‍ය ප්‍රමාණවත්ව දියුණු වෙලා නොතිබුණු කාලෙක පා ගමනින් සංචාරයේ යෙදීම දෛනික කටයුත්තක් වුණාට සැකයක් නැහැ. තොරතුරු සන්නිවේදනයත් භාණ්ඩ හුවමාරුවත් ඒ හරහා සිදුවන්නට ඇති.

මීට අමතරව ආගමික කාර්යයක් වශයෙනුත් නැතිනම් පාගමනින් වන්දනාවේ යෑමත් අපේ සංස්කෘතියේ අංගයක් වුණා. හොඳම උදාහරණය ශ්‍රී පාද වන්දනාව. කතාවට කියන්නේ එක් වරක්වත් නොගියත් මෝඩයා. එක වරකට වඩා ගියත් මෝඩයා කියලා. දකුණේ මිනිස්සු ශ්‍රී පාදස්ථානය වඳින්න මෑතක් වනතුරුම ඉපැරණි සිංහරාජ වනාන්තරය හරහා පාගමනින් ඇවිත් තිබෙනවා. අරාබි ජාතික සංචාරකයකු වූ ඉබන් බතූතා (Ibn Battuta) ගාලු වරායෙන් ගොඩ බැහැල ශ්‍රී පාදස්ථානයට ගිහින් තියෙන්නෙත් මේ මාර්ගයේ කියලයි පිළිගන්නේ. හින්දු ආගම අදහන දෙමළ ජනතාව කුමන සහ යාල ජාතික උද්‍යාන හරහා කතරගමට එන පාද චාරිකාවත් එවැනිම ඓතිහාසික උරුමයක් සහ වටිනාකමක් තිබෙන අපේ සංස්කෘතිකාංගයක්.

මං මේ අතීත කතා ගැන කිව්වේ පා ගමනින් සංචාරයේ යෙදීම අපේ ඓතිහාසික උරුමයක් සහ ජීව පුරුද්දක් බව කියන්න. ඒ වගේම, මේ වනවිට මේ උරුමය සහ පුරුද්ද අත්හැරෙමින් තියෙන බවත් කිව යුතුයි. ඒ නිසාම අපිට අලුත් ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න වෙලා. බෝනොවන රෝග අපි අතර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. අපේ දරුවන් තරගකාරී අධ්‍යාපනයෙන් බැඳ දමා තිබෙන අතර ඔවුන් ගෘහස්ථය තුළම රූපවාහිනී, පරිගණක සහ ජංගම දුරකථන තිරවල සිරකරුවන් වී තිබෙනවා. මේ නිසා අපිට නිර්මාණශීලි විසඳුම් අවශ්‍ය වෙනවා. තවදුරටත් මේ අතිධාවනකාරී මාවතේ රේස් පැදීම අවදානම් බව පැහැදිලියි. දෑස්-දෙකන් ඉලෙක්ට්‍රොනික උපාංගවලින් වසාගෙන ඇවිදින මංපෙත්වල හුදෙකලා වීමත් මේ අර්බුදයේම තවත් ප්‍රවර්ගයක් ලෙසයි මා නම් දකින්නේ.

මේ සියල්ල අතරතුර තමයි අපිට අලුත් ඇවිදීමේ ප්‍රවණතා වගේම ඇවිදීමේ මංමාවත් නිර්මාණය වීමේ ප්‍රවණතාවයකුත් දකින්න තිබෙන්නේ.

පිකෝ ට්රේල් (The Pekoe Trail) මේ ප්‍රවණතාවට තියෙන හොඳම උදාහරණයක්. පිකෝ ට්රේල් මිගෙල් කුනාට්ගේ (Miguel Cunat) අපූරු අදහසක්. ඔහු මෙවැනි නිර්මාණශීලී කාර්යන් සඳහා විශේෂඥයෙක් වගේම ශ්‍රී ලංකාව සම්බන්ධව විශේෂ උනන්දුවක් තිබෙන නිර්මාණශීලී පුද්ගලයෙක්. ඔහු සහ තව බොහෝ දෙනකුගේ, එකතුවෙන් සහ කැපවීමෙන් අද වන විට ශ්‍රී ලංකාවේ දිගම ඇවිදීමේ මං පෙත යුනෙස්කෝ ලෝක උරුමයක් වන ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය සිසාරා සලකුණු කරන්නට ඔවුන් සමත් වෙලා තිබෙනවා.

“PEKOE” යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ කළු තේ (Black tea) යන්නයි. ශ්‍රී ලංකාවේ නැත්නම් සිලෝනයේ කළු තේවලට ඉහළ පිළිගැනීමක් ලොව පුරා තිබෙනවා. එතකොට “Pekoe trail” කියන්නේ “කළු තේ මංපෙත” කියා කියන්න පුළුවන්. සරලවම මේ යෙදුම අපේ මධ්‍ය කඳුකරයේ තේ සහ යටත් විජිත උරුමය සමග බැඳුණු එකක්.

මේ මංපෙත ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා ගමන් කරන කිලෝමීටර් 300කට වැඩි දුරකින් යුක්ත, දිගු දුර ඇවිදීමේ මාර්ගයක්. එය මධ්‍ය කඳුකරය පුරා විවිධ භූමි ප්‍රදේශ, ඉතිහාසය, සංස්කෘතිය, ආහාර සහ දේශීය ප්‍රජාවන් පා ගමනින් සොයා ගැනීමට සංචාරකයන්ට ඉඩ සලසනවා. මංපෙත අදියර 22 කින් සමන්විතයි. ඒවා කෙටි කොටස් ලෙස හෝ බහු දින අත්දැකීමක කොටසක් ලෙස ගෙන සංචාරය කරන්න පුළුවන්.

මධ්‍ය කඳුකරයේ සොබා සෞන්දර්ය, ජෛව විවිධත්වය, ඓතිහාසික උරුමය, සමාජ- සංස්කෘතික විචිත්‍රත්වය සහ සිනහ සපිරි මුහුණින් යුතු ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරයේ පහස අත්විඳින්න මේ අපූරු මං පෙත ලෝකය පුරා සිටින සංචාරකයන්ට ආරාධනා කර සිටිනවා. ඒ විතරක් නෙවෙයි මේ මංපෙත වර්ධනය වන විකල්ප සංචාරක උල්පත්වලට සංකල්පමය වශයෙන් වගේම ප්‍රායෝගික වශයෙනුත් අනර්ඝ පෝෂක කලාපයක් සකසා තිබෙනවා. සංචාරක කර්මාන්තයේ වගේම පරිසර සංරක්ෂණයේ ප්‍රතිලාභ හා වගකීම් ප්‍රාදේශීය ප්‍රජාවන් අතර බෙදා හදා ගැනීම, සංචාරකයන්ගේ වගකීම් සහගත සංචරණයේ ආචාර ධර්ම ආදිය මේවා අතුරින් සුවිශේෂි වෙනවා.

අනෙක් අතට පාරිසරික සංචරණය (Eco Tourism), කෘෂි සංචරණය (Agri-tourism), ත්‍රාසජනක සංරණය (Adventure tourism) තේ සංචරණය (Tea tourism) සහ උරුම සංචරණය (Heritage tourism) වගේ සෙසු විකල්ප සහ සුවිශේෂ සංචාරක ප්‍රවර්ග එක්ව ප්‍රදානය කිරීමේ පොදු වේදිකාවක් ද මේ හරහා නිර්මාණය වී තිබෙනවා. එපමණක් නොවේ මෙවැනි ව්‍යාපෘතියක් යථාර්ථයක් කර ගැනීම සඳහා ආයතන සහ පුද්ගලයන් අතර ඒකාබද්ධතාව ගොඩනැගීම, සබඳතා ජාල නිර්මාණය කිරීම සහ ඒවා පවත්වා ගැනීම අතිශය දුෂ්කර කාර්යක් වන්නට ඇති බවට සැකයක් නැහැ. නමුත් දැන් අපට සාර්ථක උදාහරණයක් තිබෙන නිසා එයින් අලුත් ව්‍යාපෘති සඳහා ද ආලෝකයක් ලැබිය හැකියි.

ජෛව විවිධත්වයෙන් සහ සංස්කෘතික විවිධත්වයෙන් පොහොසත් සහ විචිත්‍රවත් දිවයිනේ මෙවැනි අපූර්ව සංකල්පවල පහස නොලැබූ කොතරම් ස්ථාන, ක්‍රියාවලීන් සහ ප්‍රදේශ තිබිය හැකි ද? මා පූර්වෙහි සඳහන් කළ ඉපැරණි වන්දනා මංපෙත් එයට හොඳ උදාහරණක්. ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ සංක්‍රමණ මාර්ග, ගංගා ඔස්සේ විහිදෙන මාර්ග, රජවරුන්ගේ සංග්‍රාමික මාර්ග, යටත් විජිත උරුමයන් හා බැඳී ගමන් මාර්ග ආදියත් මේ යටතට ගන්න පුළුවන්. එහෙම කියනකොට සිහියට එන්නේ කන්ද උඩරට දෙවන රාජසිංහ රජුගේ සිරකරුවෙක් වෙලා හිටපු රොබට් නොක්ස් (Robert Knoxං) උඩරට රාජධානියේ සිට උතුරට පලා ගිය මාර්ගය වගේ අප්‍රකට දේ උනත් මේ යටතේ සලකා බැලිය හැකියි. මේ වනවිට ඉන්දීය සංචාරකයන් ඉලක්ක කරගත් රාමායන් සංචාරක (Ramayan tourism) ක්‍රියාකාරකම් වුවත් තවදුරටත් පුළුල් කිරීමේ විභවතාවක් තිබෙනවා. මොකද ඒ වෘත්තාන්තයට සහ ජනශ්‍රැතිවලට අදාළ බොහෝ ස්ථාන දිවයින පුරාම විසිරී පවතින නිසා.

සත්‍ය ලෙසම මෙවැනි අපූරු සංකල්පවලට අප ගරු කළ යුතුයි, වටිනාකමක් දිය යුතුයි. ඒ වගේම ඒවා වර්තමානයේ සමාජ, ආර්ථික හා පාරිසරික තිරසරභාවය ඇති කර ගැනීම සඳහා භාවිත කළ යුතුයි. අපි ඈත අතීතයේ සිටම සංචාරකයන්, අමුත්තන් වැළඳ ගත් රටක්. එය අපේ උරුමයේම කොටසක් වන අතර ශිෂ්ට ජාතියක ලක්ෂණයක් ද වෙනවා. මේ ඓතිහාසික උරුමය බැහැර කිරීම නොව ඒවා අපූර්ව ලෙස මිශ්‍ර කිරීමෙන් වර්තමානය සහ අනාගතය නිර්මාණය කරගැනීමයි අප කළ යුත්තේ. කුන්ටා වැනි පුද්ගලයන්ගේ අදහස් අපට තවත් නිර්මාණශීලීව සිතන්න සහ ක්‍රියා කරන්න මග පෙන්වනවා.

ඔබත් පිකෝ මංපෙතේ ආශ්චාර්ය අත්විඳින්න යනවා නම් හොඳින් මතක තබාගත යුතු කාරණය තමයි “සුන්දර මතකයන් සහ ඡායාරූප හැර කිසිවක් රැගෙන නොඑන්නටත්, පිය සටහන් මිස කිසිවක් තබා නොයන්නත්” මන්ද පිකෝ මංපෙත කියන්නෙම ශ්‍රී ලාංකීය සංචරණයේ අලුත් වගේම ගැඹුරක් තිබෙන සංචාරක ප්‍රවර්ගයක් වීමේ විභවතාවක් තිබෙන මූලාශ්‍රයක්. ඇවිද්ද පය දහස් වටින්නේ එවන් මගක ගියොත් විතරයි.

මංජුල කරුණාරත්න
සංරක්ෂණ භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
භූගෝල විද්‍යා අධ්‍යයනාංශය,
රුහුණ විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment