පින්වත්ත රූපලාවන්‍ය කම්හලේ රසායනයක් විෂ වී 30ක් රෝහලේ

322

සේවිකාවෝ 340ක් ගෙවල්වලට හරවා යැවෙති

පානදුර, පින්වත්ත ප්‍රදේශයේ රූපලාවන්‍ය කර්මාන්ත ශාලාවක රසායනික ද්‍රව්‍යයක් විෂ වීමෙන් සේවිකාවන් 30 දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිල්රුක්ෂි වීරසිංහ මහත්මිය පැවසුවාය.

රෝහල්ගතව සිටින අය හිසේ කැක්කුම, කැරකැවිල්ල, හුස්ම ගැනීමේ අපහසුතාවලින් පසු වූ බව වාර්තා වේ. සුවඳ විලවුන්, මුහුණු ආලේපන ඇතුළු රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතනයක මිශ්‍රණයක් සිදු කිරීමේදී රසායනික ද්‍රව්‍යයක සාන්ද්‍රණයක් වෙනස් වීමෙන් විෂ වීම සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

අසනීප වූ පිරිසක් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවත්, ඉන් සිව්දෙනකු තරමක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන නමුත්, ඔවුන්ට මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් සිටින බවත් රෝහල් අධ්‍යක්ෂවරිය පැවසුවාය.

සිද්ධිය සැලවීමත් සමග පින්වත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්ම නන්දන මහතා ඇතුළු නිලධාරීන් කර්මාන්ත ශාලාවට ගොස් එහි සිටි සේවිකාවන් 340දෙනකු පමණ නිවෙස්වලට පිටත් කර යවා කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. පින්වත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතාගේ ප්‍රධානත්වයෙන් පින්වත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

වාද්දුව සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment