පිළිකාව ගෝලීය වසංගතයක්: ලෝක ජනගහනයෙන් 9000ක් මහාන්ත්‍රයේ සහ ගුදමාර්ග පිළිකාවට බිලි

45

පිළිකා වර්ගවලින් ශ්‍රී ලංකාවේ තෙවැනි තැන ගුද මාර්ගය සහ මහඅන්ත්‍ර පිළිකාවට

වර්තමානයේ ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති සෑම පිළිකා වර්ගයකම සංඛ්‍යාත්මකව වැඩිවීමේ ප්‍රමණතාවයක් දක්නට ඇති බවත් එයින් ප්‍රධාන ගැටලුවක්ව පවතින මහාඅන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාව ශ්‍රී ලංකාව තුළ තුන්වන ස්ථානයේ පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රීති අලහප්පෙරුම මහත්මිය පැවසුවාය.

ලෝක මහාඅන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය ලෙස හඳුන්වමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරිය මේ බව පැවසුවාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි එම දත්ත අනුව ලෝකය පුරාම මිලියන 1.9ක් පමණ රෝගීන් වසරකට හඳුනාගැනීමට හැකියාව ලැබී ඇති බවත් එයින් 9000කට වැඩි පිරිසක් මියයන බවත් මෙහිදී ඇය පැවසුවාය. ඒ අනුව 2021දී ලබාගත් දත්ත අනුව ලංකාව තුළ පමණත් පිරිමි පාර්ශ්වය 1500ක් සහ කාන්තා පාර්ශ්වය 1600ක් පමණ පිරිසක් මෙම රෝගී තත්ත්වයෙන් හඳුනාගැනීමට හැකි බව ද ඇය පැවසුවාය.

එසේම මෙයින් වසර 10කට පෙරදී වයස අවුරුදු 50ට වැඩි පිරිසකට පමණක් මෙම රෝගී තත්ත්වයට ගොදුරුවීමේ ප්‍රවණතාවයක් තිබූ නමුත් වර්තමානයේදී එම තත්ත්වය වෙනස් වී අවුරුදු තිහ සහ හතළිහ වැනි වයස්වල පුද්ගලයන්ට ද මෙම රෝගී තත්ත්වය වාර්තාවීමේ වැඩි බවක් පෙන්නුම් කරන බව වෛද්‍ය ප්‍රීති අලහප්පෙරුම මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

එසේම මෙම රෝගයේ රෝග ලක්ෂණ මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමෙන් මෙම රෝගය සුවකළ හැකි මට්ටමක පවතින බව ද වෛද්‍යවරිය පැවසුවාය.

මෙහිදී ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු, අමාශ අන්ත්‍ර සහ මහාඅන්ත්‍ර ආශ්‍රිත ශෛල්‍යකර්ම පිළිබඳ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය වසන්ත ලියනගේ යන මහත්වරු ද අදහස් දැක් වූහ.

සුජාතා ජයරත්න/ප්‍රදීප් සමරකෝන්


advertistmentadvertistment