ලේසර් කිරණ ප්‍රතිකාරවලට පැමිණි රෝගීහු අමාරුවේ
මහරගම පිළිකා (අපේක්‍ෂා) රෝහලට ඊයේ (03 දා) පෙරවරුවේ පැය දෙකහමාරකට අධික කාලයක් තිස්සේ විදුලිය නොමැතිවීම නිසා රේඩියෝ තෙරපි (ලේසර් කිරණ) ප්‍රතිකාර සඳහා පැමිණ සිටි රෝගීහු සිය ගණනක් දැඩි අපහසුතාවට පත්ව සිටියහ.
රෝහලේ අංශ කිහිපයකම ජෙනරේටර් යොදා සේවාවන් සාමාන්‍ය පරිදි කරගෙන ගිය මුත් අලුතින් ඉදිකළ ගොඩනැඟිල්ලේ රෝගී ප්‍රතිකාර කටයුතු පැය දෙකහමාරකට අධික කාලයක් සම්පූර්ණයෙන්ම පාහේ නතර කර තැබීමට සිදුවී තිබිණි.
මෙම විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi අරුණ ජයසේකර මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ රෝහලේ අලුතින් ඉදිකළ ගොඩනැඟිල්ලේ ප්‍රතිකාරවලට බාධා සිදුවූ බවයි. මහරගම අපේක්‍ෂා රෝහල ආශ්‍රිත ප්‍රදේශයේ හදිසි විදුලි බිඳවැටීම සිදුව තිබූ බව ද ඒ මහතා කීය.
මෙම විදුලි බිඳවැටීම නිසා අලුත් ගොඩනැඟිල්ලේ සිදුකිරීමට නියමිතව තිබූ අදාළ ප්‍රතිකාර කටයුතු පමා කිරීමට සිදුවූ බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් විදුලි සම්බන්ධතාව ලැබුණු පසු රෝහලට පැමිණි සියලුදෙනාටම අදාළ ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා බව ද කිසිදු රෝගියකු ආපසු හරවා නොයවන බවද අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය. අපේක්‍ෂා රෝහලේ ඉදිකළ නව ගොඩනැඟිල්ලට ජෙනරේටර් යන්ත්‍රයක් ඉල්ලා තිබුණ ද එය තවමත් ලැබී නැතැයි ද ඒ මහතා කීය. රෝහල සතුව ජෙනරේටර් පහක් ඇති අතර එකක් අක්‍රීය තත්ත්වයේ ඇත.
විදුලි රැහැන් මතට ගසක් කඩාවැටීමට නිසා මෙම විදුලි බිඳවැටීම සිදුවූ බවත් ඊට සේවක උද්ඝෝෂණ හෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් කිසිසේත් හේතු නොවූ බවත් ඒ පිළිබඳව කළ විමසීමේදී ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් මහතා ‘දිවයින’ ට කියා සිටියේය. ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට (ලෙකො) අයත් ප්‍රදේශයක වූ මෙම විදුලි බිඳවැටීම ආයතන දෙකේම සේවකයන් යොදවා යථාවත් කළ බව ද ලංවිම සභාපතිවරයා කීය.
කෙසේ වෙතත් පැය දෙකහමාරක පමණ කාලයක් දැඩි අපහසුතාවට පත්ව සිටි රෝගීහු අදාළ ප්‍රතිකාර ලබාගෙන පිටත්ව ගියහ. ඇතැම් රෝගීන් දුර ඈත ප්‍රදේශවල සිට පැමිණ මහරගම ආශ්‍රිත ප්‍රදේශයේ නිවාස කුලියට ගෙන සිටින අයය.
ශිරාන් රණසිංහ