පේදුරුතුඩුවේ සාස්තරයක් මිනීමරලා..!

2

වසර හතක පෙමට තිත තියා වෛද්‍යවරයා සියදිවි නසාගනී

යාපනය පේදුරුතුඩුව රෝහලේ තරුණ වෛද්‍යවරයකු සිය කාමරය තුළ සියදිවි හානි කරගෙන සිටියදී ඔහුගේ මළසිරුර පෙරේදා (12 දා) හමු වී තිබේ.

ප්‍රේමේන්ද්‍රරාජා ක්‍රිෂාන් නමැති 30 හැවිරිදි මෙම වෛද්‍යවරයා නිර්වින්දන ඖෂධයක් අධික ලෙස එන්නත් කර ගැනීමෙන් හා ආඝ්‍රාහණය කිරීමෙන් මියගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී තොරතුරු හෙළි වී ඇත.

මියගිය වෛද්‍යවරයා වසර හතක කාලයක් වෛද්‍යවරියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති අතර වෛද්‍යවරයාගේ මව ශාස්ත්‍රකරුවකු කළ ප්‍රකාශයක් හේතුවෙන් එම විවාහයට කැමැත්ත ලබා දී නොමැත.

දෙදෙනා විවාහ වුවහොත් ස්වාමියා මාස තුනකට වඩා වැඩි කාලයක් ජීවත් නොවන බව ශාස්ත්‍රකරු කීම නිසා කොළඹ පදිංචිව සිටින මව එම විවාහයට අවසර ලබා දී නොමැත.

පෙමින් වෙලී සිටින වෛද්‍යවරිය වෛද්‍යවරයාට ඉක්මනින්ම විවාහ විය යුතු බව දන්වා සිටීම නිසා වෛද්‍යවරයා දැඩි මානසික ආතතියකට පත්ව සිටි බව එම රෝහලේ වෛද්‍යවරු පේදුරුතුඩුව පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

සිද්ධිය වූ දිනයේදී කාමරයට ගිය වෛද්‍යවරයා සිය පෙම්වතියට දුරකතන ඇමතුමක් ලබා දී තමන් සිය දිවි හානි කරගන්නා බව දැනුම් දී පසුව නිහඬ වී ඇත.

වෛද්‍යවරයා මියයන්නට පෙර කඩදාසියක යමක් සටහන් කිරීමට උත්සාහ කොට ඇතත් ඔහුට එය කිරීමට නොහැකි වීම නිසා කඩදාසියේ කුඩා අකුරු තුනක් පමණක් සටහන් වී තිබියදී පොලිසිය විසින් එම ලිපිය සොයා ගෙන තිබේ.

දුරකතන ඇමතුමෙන් පසුව කලබලයට පත් වෛද්‍යවරිය පේදුරුතුඩුව රෝහලේ වෛද්‍යවරුන්ට දුරකතන ඇමතුමක් ලබා දී ඔහු ගැන විපරම් කොට බලන ලෙස දැනුම් දී ඇති අතර වෛද්‍යවරුන් පැමිණ බලන විට ඔහු මියගොස් සිට ඇත.

ඉතා ධනවත් පවුලක දරුවකු වන වෛද්‍යවරයා නේපාලයේදී වෛද්‍ය උපාධිය ලබාගෙන පේදුරුතුඩුව රෝහලේ මාතෘ වාට්ටුවේ සේවයට පැමිණ ඇති අයෙකි.

මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව රෝහල වෙත රැගෙන ගොස් ඇති පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment