පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී වෙනත් දේශපාලන පක්ෂවලට සහයෝගය ලබා දුන් දකුණු පළාත් සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් යළි එම පක්ෂය හා එක්වීම සඳහා සාකච්ඡාවක් පවත්වා ඇති බැව් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට, සමගි ජනබලවේගයට සහ සර්ව ජනබලයට සහයෝගය ලබා දුන් හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් මෙම රැස්වීම සඳහා සහභාගි වී ඇත.
මාතර ප්‍රදේශයේ හෝටලයක පැවැති මෙම රැස්වීම සඳහා දකුණු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් විසිදෙනකු පමණ සහභාගි වී ඇත. ඉදිරි පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණයේ දී සියලු වාදභේද අමතක කර පුළුල් සන්ධානයක් ලෙස එක්ව තරග කළ යුතු ආකාරය පිළිබඳව මෙම රැස්වීමේ දී සාකච්ඡා වී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරගිය දකුණු පළාතේ හිටපු ඇමැතිවරු, මන්ත්‍රීවරු මෙම සන්ධානයට එක්කර ගැනීම සඳහා ඉදිරියේදී ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව දකුණු පළාත් සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු සඳහන් කළේය. මෙම රැස්වීම සඳහා හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව ඇත.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල