විවාහය කියන කාරණාව මම විශ්වාස කරන්නේ නැහැ
ප්‍රේමය බිඳවැටුණ තැනදී පෙරවදන ලියැවුණා

ඇයව අප හඳුනාගන්නේ වර්තමාන පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම, ගී පද රචිකාවක් ලෙසිනි. සනුක වික්‍රමසිංහ ගායනා කරන “පෙරවදනක්” වගේම නදීමාල් පෙරේරා ගායනා කරන “නුරා වසන්තේ” පසුගිය කාලයේ අතිශය ජනප්‍රිය වූ ගීත දෙකකි. ඔය අතරේ මේ දිනවල විකාශය වන ලලයි ලිලයි ලයි ටෙලිනාට්‍යයෙන් ද ඇය ප්‍රේක්ෂක ආදරය නොමඳව ලබමින් සිටින දක්ෂ රංගන ශිල්පිනියකි. වේදිකාව, රිදී තිරය වගේම පුංචි තිරයෙන් ද සිය රංගන ප්‍රතිභාව මැනවින් ඉදිරිපත් කරන ඇය නමින් උමා අසෙනි ය.

පොළොවේ පයගහලා ජීවත්වෙන අතිශය සාමාන්‍ය කෙල්ලෙක්

මේ දවස්වල කාර්යබහුලයි වගේ?

ඔව්. මේ දවස්වල එකදිගට වැඩ. ලලයි ලිලයි ලයි සහ තව චිත්‍රපට කිහිපයක රූගත කිරීම් සිදුවෙනවා. ඒක හින්දා ටිකක් කාර්යබහුලයි.

ලලයි ලිලයි ලයි හින්දා උමාට වෙනස්ම ප්‍රේක්ෂක පිරිසක් එකතුවෙලා ඉන්නවා?

අපි හිතුවේ නැති විදිහට කිසිම වයස් භේදයකින් තොරව වගේම සමාජ පන්ති භේදයකින් තොරව ඒ චරිත සියල්ල වටා එකතුවෙලා ඉන්නවා. ඒ ගැන සතුටුයි.

ධනුෂ්කගේ අක්කා ගැන මොනවද රසිකයො කියන්නෙ?

ඇත්තටම ධනුෂ්කගේ අක්කා නෙමෙයි උදාරගේ අක්කා කියලා තමයි මේ වෙනකොට ව්‍යවහාරයේ පවතින්නේ. අක්කා කියන චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන ඉතාම සතුටුයි. මොකද ගොඩක් අය ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම් මට පණිවුඩ හරහා දන්වනවා. ඒවා අතරේ සෑහෙන්න වේදනාත්මක කතා වගේම බොහෝම ආදරණීය කතාත් තියෙනවා.

අක්කා කියන චරිතයට පුදුම බැඳියාවක් මේ නිර්මාණය හරහා හැදිලා තියෙනවා. ඒ ගැන පෞද්ගලිකව සෑහෙන සතුටක් තියෙනවා. කෙනකුට මේ වගේ අක්කා කෙනකු හිටියා නම් හොඳයි කියලා හිතෙන තැනට රඟපාන්න පුළුවන් වුණා කියන්නේ මට හිතෙනවා චරිතයේ යම්කිසි සාර්ථකත්වයක් තිබෙනවා කියලා.

පොළොවේ පයගහලා ජීවත්වෙන අතිශය සාමාන්‍ය කෙල්ලෙක්

මෙවැනි ප්‍රතිචාරයක් ලැබෙයි කියලා මුලදි හිතුවද?

මෙහෙමයි, මේ වැඩේ දුවනවා කියලා මමත් රන්දිකත් කතා කරලා තිබුණා. නමුත් මෙහෙම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබේවි කියලා ඇත්තටම හිතුවේ නැහැ. වේග සීමා අදාළ නැතිව දුවන තැනකට දැන් මේ නාට්‍යය ඇවිත් තියෙනවා.

රංගනයේදී ලැබෙන ජනප්‍රියත්වය ගැන කතා කළොත්?

මම ජනප්‍රියත්වය ගැන ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි. නමුත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරයට සහ ප්‍රතිචාරවලට හැමදාමත් ඉතාම ගෞරවනීය ලෙස ස්තූතිවන්ත වෙනවා. පොදුවේ කලාකරුවෙක් ගත්තහම ප්‍රේක්ෂකයා නැතිව ඔවුන්ට ගමනක් නැහැ. මම කැමරාව ඉස්සරහට ගිහිල්ලා රඟපානවා. කැමරාවෙන් අයින් වුණාට පසුව බොහොම සාමාන්‍ය විදිහට ජිවත්වෙනවා.

පොළොවේ පයගහලා ජීවත්වෙන අතිශය සාමාන්‍ය කෙල්ලෙක්

උමා සමග කතාබහ කරනකොට මාණික්කාවතේ පිච්චි ගැන කතා නොකරම බැහැ?

මාණික්කාවත කියන්නේ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් හරි. මාණික්කාවත කියන්නේ මගේ හත් වැනි ටෙලිනාට්‍ය වුණාට මාව ගොඩ දෙනෙක් දැන හඳුනාගන්නේ පිච්චි හරහායි. ඉතින් මට වාසනාව ගෙනා චරිතය පිච්චි කියලා කිව්වත් මම නිවැරදියි. ඇත්තටම මට මගේ රංගන ජීවිතයේ අවුරුදු ගණනාවක් තිස්සේ ඉගෙන ගත්තු දේවල් අත්හදා බලන්න මට ලැබුණු හොඳම තෝතැන්න තමයි මාණික්කාවත කියන්නේ.

වේදිකාවේ වැඩකටයුතු?

වේදිකාවෙන් කොහොමත්ම ඉවත් වෙන්නේ නැහැ. ඒ වැඩකටයුතු කෙරීගෙන යනවා. එකම දේ, හිතුවේ නැති විදිහට වැඩ කිහිපයක් පටන් ගත්තා. ඒක හින්දා වේදිකා නාට්‍යයකට කතා කරපු ගමන් දින ලබාදීම පිළිබඳව ගැටලුවක් මතුවෙලා තියෙනවා. එළැඹෙන අගෝස්තු මාසයෙන් පස්සේ ඒ තත්ත්වය ටිකක් සමනය වෙයි.

ඇත්තටම උමා කියන්නේ මොනවගේ චරිතයක්ද?

උමා කියන්නේ බොහොම සරල, සාමාන්‍ය පොළොවේ පය ගහලා ජීවත්වෙන, අතිශය සාමාන්‍ය කෙල්ලෙක්. ඒ අතරේ කරන්න තියෙන වැඩ ඔක්කොම කරනවා.

ඔබ ජීවිතය, විවාහය කියන මාතෘකා ගැන හිතන්නේ කොහොමද?

විවාහය කියන කාරණාව මම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ජීවිතයේ ඇතුළේ ප්‍රේමය තියෙන්න ඕනැ කියලා දරුණුවට විශ්වාස කරනවා. මගේ ජීවිතය ඇතුළේ මම විශ්වාස කරන ලොකුම දේ මම ගෙවන ජීවිතය ඇතුළේ මම විඳින කිසිම හැඟීමකට රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය නැහැ කියන එක විතරයි.

බොහෝදෙනෙක් ඔබව හඳුනා ගන්නේ ගීත රචිකාවියක් විදිහට?

‘පෙරවදනක්’ තමයි කතාබහට ලක්වෙන සන්ධිස්ථානය වෙන්නේ. ඒ වගේම ‘නුරාවසන්තේ’. මගේ ජීවිතය තිබෙනකම් සනුකට සහ නදීමාල්ට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. ඒ දෙන්නා හින්දා තමයි ඒ සිංදු දෙක ඒ තරම් දුරට සාර්ථක වෙන්නේ. මොකද ‘පෙරවදනක්’ වෙනකෙනෙක් කිව්වා නම් ඔය මට්ටමට එන්නේ නැහැ. ‘නුරාවසන්තය’ වෙන හඬකින් ගැයුවා නම් ඔය තැනට එන්නෙත් නැහැ. මගේ පදරචනාවට අමතරව පසන්ගේ සනුකගේ සංගීතය, තනු නිර්මාණය වගේම නදීමාල්ගේ සහ සනුකගේ හඬවල් දෙක තමයි මාව මිනිස්සු අතරට ගෙනියන්නේ.

පෙරවදනක් තුළින් ලියැවෙන්නේ ඔබේ පුද්ගලික ජීවිතයේ අත්දැකීම්ද?

ඔව්. ඒක පෞද්ගලික අත්දැකීමක් තමයි. විශ්වවිද්‍යාලයේදී මගෙන් ඈත්වන ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටෙන තැනදී මම ලියන වචන ටිකක්. මම ඒක සිංදුවක් ලියන්න හිතාගෙන ලියපු වචන ටිකක් නෙමෙයි. මම මේ කතාව හැමතැනම කියලත් තියෙනවා. ඒක ඉතාම පුද්ගලික කාරණයක්. මොකක් හෝ වාසනාවකට විරහව කියන හැඟීම හැමෝටම පොදු නිසා ඒක ඉතාම පොදු තැනකට ඇවිත් තියෙනවා.

සිනමාවේ වැඩකටයුතු මොන වගේද?

ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපට ගණනාවක් තියෙනවා. මගේ පළමු සිනමා නිර්මාණය ශ්‍යාම් ප්‍රනාන්දු අයියාගේ “ටීච් මී”. ඒක ජූලි මාසයේ අගවන විට තිරගත වීමට නියමිතයි. ඊට පසුව ‘සඳලි’. අනෙක් ඒවා නම් මට තවම හරියටම කියන්න බැහැ කොයි කාලයේදී තිරගතවේවි කියලා. ඊට අමතරව මම දැන් මේ වෙනකොට වෙනත් සිනමා නිර්මාණයක වැඩ කරගෙන යනවා.

ඔබේ කලා ජීවිතයට ගෙදරින් ලැබෙන සහයෝගය මොනවගේද?

හැමදාමත් මාව ගයිඩ් කරපු කෙනා තමයි මගේ තාත්තා. කිසිම බැරියර් එකක් නොදාඉඳීම තමයි මට ලැබෙන ලොකුම සහයෝගය. මම මොන වැඩේ කළත් ඒකේ පළමුවැනි ප්‍රේක්ෂකයා සහ විචාරකයා වෙන්නේ මගේ තාත්තා. ඊට පස්සේ තමයි පවුලේ අය.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප – භූමි වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment