ගස් බදන් පොර අල්ලා මල්ලවපොරෙන් ලොව හෙල්ලූ අහිංසාගේ කතාව

243

විවේක වෙලාවටත් මම හිටියේ මෙට්ටේ උඩ
විදුහලට  ක්‍රීඩා  ගුරුවරයෙකුත් නැහැ – විදුහල්පති

චීස්, බටර්, හැම්,බේකන්, මස් මාංශ ඇතුඵ පෝෂණ ගුණයෙන් අධික ආහාරපාන ඇතුළු සියලු පහසුකම් මැද පුහුණුව ලබන යුරෝපා රටවල්වල ක්‍රීඩිකාවන් පරදවා අපේ රටේ වැවෙන කොස්, දෙල්, අල, බතල ආහාරයට ගෙන අවම පහසුකම් මත පුහුණුවීම් කරමින් මෙවර පැවැති 22 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ නෙත්මි අහිංසා නම්වූ ක්‍රීඩිකාව කිලෝ ග්‍රෑම් 57 බර පංතිය යටතේ තරග වැදී ලෝකඩ පදක්කමක් දිනා ශ්‍රී ලංකාවට ගෞරවයක් හා කීර්තියක් ගෙන ඒමට සමත්වූවාය. ඇය ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ පන්නල වෙල්පල්ල සංඝරතන මහා විද්‍යාලයේ කලා අංශයෙන් උසස් පෙළ හදාරන ශිෂ්‍යාවකි.

ගස් බදන් පොර අල්ලා මල්ලවපොරෙන් ලොව හෙල්ලූ අහිංසාගේ කතාව

දිනෙන් දින දියුණුවන නූතන ලෝකයේ විවිධ ක්‍රීඩාවන් කෙරෙහි බියක් චකිතයක් මැලිකමක් මුල් අවධියේ සමහරු දක්වන බව ඔබ අසා ඇති කරුණක් වුවත් එයට නොපැකිළිව එඩිතරව අධිෂ්ඨාන පූර්වකව ඉදිරිපත්වී මෙරට මෙන්ම ජාත්‍යයන්තර තරගබිමද ජයගත් ක්‍රීඩිකාවන් අපට ඇත්තේ අතළොස්සක් බවද නොරහසකි.

ගස් බදන් පොර අල්ලා මල්ලවපොරෙන් ලොව හෙල්ලූ අහිංසාගේ කතාව

රන්වන් පැහැවී කිරිවැදී ඇති කුඹුරුයායවල්, කෙත්වතු රැසක් පසුකර ඇය දෙමව්පියන් සමග වෙසෙන අගනුවරින් බැහැර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල වෙල්පල්ල නම්වූ සුන්දර පරිසරයකට උරුමකම් කියන ගම්මානයේ පිහිටි පුංචි නිවහනට  ඇගේ ක්‍රීඩා දිවියේ සහ පවුලේ තොරතුරු සොයා අප ගියේ ඒ නිසාමය. තම දියණිය ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කර තිබූ  පිළිගැනීමේ උත්සව රැසකට පෙරදින සහභාගිවීමෙන් වෙහෙසට පත්වී සිටියත් නෙත්මි අහිංසාගේ මව රන්මලී ශ්‍රියාණි වසුන්දරා මහත්මිය එම වෙහෙස මොහොතකට පසෙකලා සිනහමුසු මුහුණෙන් අප සුහදව පිළිගෙන ඇගේ හඬ අවදි කළාය.

ගස් බදන් පොර අල්ලා මල්ලවපොරෙන් ලොව හෙල්ලූ අහිංසාගේ කතාව

දුවට කන්න දුන්නේ  කොස් දෙල් මඤ්ඤොක්කා පොළොස් – අහිංසාගේ මව

මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. ලොකු දුව විවාහ වෙලා ඉන්නෙ. දෙවැනි දුව තමයි ඔය මල්ලවපොර ක්‍රීඩාවට සම්බන්ධ වෙලා අද ජාත්‍යන්තරයේ නමක් තියලා ලංකාවට පදක්කමක් අරන් ආවේ. මට හරිම සතුටුයි. අපි හරි අමාරුවෙන් තමයි ඔය ළමයව අද ඉන්න තැනට ගෙනාවේ. හරියකට කෑමක් බීමක් ලබාදෙන්න අපට ආර්ථික ශක්තියක් නැහැ. ඔය මල්ලවපොර ක්‍රීඩාව කරන ළමයින්ට හොඳ පෝෂණයක් ලබාදෙන්න ඕනැලු. වෙන රටවල අයට වාගේ අපට එහෙම දෙන්න විදහක් නැහැ. මගේ මහත්තයා පෙදරේරු රැකියාව කරන්නේ. ගමේ වැවෙන කොස්,දෙල් මඤ්ඤොක්කා, පොළොස් වාගේ දේවල් තමයි නිතර කන්න දුන්නෙ. ඉඳල හිටලා පෝෂණයක් ඇති වෙනත් ආහාරපානත් ගෙනත් දුන්නා. මගේ දුවගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා එයා කවදාහරි ජාත්‍යන්තරය ජය ගන්නවා කියලා. එයාගේ කාමරයේ බිත්තිවල පවා ඒ බව එයා චිත්‍රයට නඟලා තියෙනවා. මම මොකුත් කියන්නේ නැහැ හැම තැනම බිත්තිවල චිත්‍ර ඇන්දට එයාගේ හිත රිදෙයි කියලා. ඒක එයාගේ බලාපොරොත්තුවනේ.

ගස් බදන් පොර අල්ලා මල්ලවපොරෙන් ලොව හෙල්ලූ අහිංසාගේ කතාව

නෙත්මිගේ පුහුණුකරු සුරංග මහත්තයත් එයාගේ නෝනත් දිවා රෑ නොබලා පුදුම සහයෝගයක් ලබාදුන්නා මගේ දුව අද ඔය ඉන්න තැනට ගේන්න. ඒ වගේම තමයි දුව අධ්‍යපනය ලබන විද්‍යාලයේ විදුහල්පති අරුණ ශාන්ත මහත්තයා ඇතුළු ගුරු මණ්ඩලය වගේම අපේ ප්‍රදේශයේ විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා,මේ ගම්වාසීන් විශාල සහයෝගයක් ලබාදුන්නා ඔය ජයග්‍රහණය කරා යන්නට. මම ඒ සියලු දෙනටම ස්තුතිය පුදකරනවා. මේ ලබාගත් ජයග්‍රහණ වගේම දුවගේ අධ්‍යාපන කටයුතුත් ඉදිරියට කරගන්න යන්න ඕනෑ. මගේ දුව දක්ෂයි. මම හිතනවා එයා අධ්‍යාපනයෙනුත් ඉදිරියට එයි කියලා. මේ වැඩකටයුතුවලට රාජ්‍ය මට්ටමේ යම් අනුග්‍රහයක් දුවට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ගස් බදන් පොර අල්ලා මල්ලවපොරෙන් ලොව හෙල්ලූ අහිංසාගේ කතාව
අහිංසා සිය පුහණුකරු සුරංග සමග……

මල්ලවපොර ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කමක් දිනා ලංකාවට කීර්තියක් ලබාදුන් නෙත්මි අහිංසා ක්‍රීඩිකාව මෙසේ අදහස් පළකර සිටියාය –

2012 මම පටන් ගත්ත පිම්ම 2019 ජාතික මහා තරගය ජයග්‍රහණය කරලා රන් පදක්කමක් හිමිකර ගන්නකොට ඒ තරගාවලියේම දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමි වෙද්දී මේ ක්‍රීඩාවෙන් ගමනක් ඉදිරියට යන්න පුළුවන් කියලා මම හිතුවා. එතැන් පටන් මට පුහුණුව ලබාදුන් මාස්ටර් සහ ඔහුගේ බිරිඳ මගේ දෙමව්පියන් ඇතුළු සියලු දෙනාගේ සහයෝගයෙන් මේ පදක්කමට යන්න මට පුළුවන් වුණා. එතැන සිට මගේ පුහුණුවීම් කටයුතු එක දිගටම කරගෙන ගියා. කවදාවත් පුහුණුවීම් නොකර නිකන් හිටියේ නැහැ. විවේකය ලබන වෙලාවෙත් මෙට්ටේ තමයි හිටියේ. ඒ විදිහට ගොඩක් කැපකිරීම් කරලා දුක්විඳලා තමා මේ තැනට මම ආවේ. ඒ වගේම විභාග කටයුතු පාසලේ තියෙන දවස්වල රෑ 11.00 ට පුහුණුවීම් ඉවරවෙලා දොළහට නිදාගෙන ආයෙ දෙකහමාරට නැඟිටලා පාඩම් කටයුතු කරගෙන ඒ සියල්ලම සමබරව කරගෙන ගිහිල්ලා තමයි අද මේ ජයග්‍රහණය ලබාගත්තේ. මගේ එකම බලාපොරොත්තුව ඔලිම්පික්. ඒ සඳහා තව තරග ගොඩක් තියෙනවා. ඒ සෑම තරගයකටම සහභාගිවෙලා රට වෙනුවෙන් පදක්කමක් ගේන්න තමා මගේ එකම බලාපොරොත්තුව යැයිද ඇය පැවසුවාය.

ලංකාවේ මේ පවතින තත්ත්වයත් එක්ක ලංකාවට පදක්කමක් අරගෙන කීර්තියක් අත්කර දුන්න එක ගැන මට සතුටුයි. මට හැබැයි රන් පදක්කම ගන්න බැරි වුණා. ඒ හැම දුර්වලතාවයක්ම හදාගෙන ඊළඟ පාර තියෙන්නේ ඔලිම්පික්. මම ඔලිම්පික් යන්නනම් රෑන්කින් සීනියර් මීට් ගොඩක් අල්ලන්න තියෙනවා. ඒ හැම එකක්ම නියෝජනය කරලා ඔලිම්පික්වලට කොලිෆයි වෙන්න මම සූදානම් වෙනවා. මගේ පුහුණුකාරතුමාත් සමග. ඔලිම්පික්වලින් පදක්කමක් ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. මේ තැනට එන්න ගොඩක් උදව් කළා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවෙන්. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයේ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. අම්මයි තාත්තායි මට පුළුවන් විදිහට කන්න දුන්නා. ඇත්තටම ඒ දෙන්නා ලොකු ශක්තියක් වුණා. මගේ මාස්ටර් ඒ දෙන්නට බැරි දේවල් මට දුන්නා. ඇත්තටම මේ පදක්කම මට නෙමෙයි අයිති වෙන්න ඕනේ එයාලටයි, මගේ රටටයි. ඒ වගේම පදක්කමේ සම්පූර්ණ අයිතිය මේ රටට.

ගස් බදන් පොර අල්ලා මල්ලවපොරෙන් ලොව හෙල්ලූ අහිංසාගේ කතාව

නෙත්මි අහිංසා මේ වනවිට අධ්‍යාපනය හදාරන පන්නල වෙල්පල්ල සංඝරතන මහා විද්‍යාලයේ විදුහල්පති අරුණ ශාන්ත මහතා තම පාසලේ දිරිය දියණිය පිළිබඳව හඬ අවදිකරමින් මෙසේ පැවසීය.

අහිංසා ලබපු මේ ජයග්‍රහණය පිළිබඳව අපිට තියෙන්නේ කියන්න බැරි තරම් සතුටක්. මොකද ඒක ලෙහෙසි පහසු දෙයක් නොවෙන නිසා. මේ දරුවා ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් හරිම දක්ෂයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල අරගෙන දැනට අපේ විද්‍යාලයේ කලා අංශයෙන් උසස් පෙළ හදාරනවා. ඒ වගේම නෙත්මි නර්තනයටත් හරිම දක්ෂයි. ඇය මේ ජයග්‍රහණය ලබන්න විශාල කැපකිරීමක් කළා. අපේ පාසලේ ක්‍රීඩා ගුරුවරයෙක් නැහැ. මේ පාසලේම ආදි ශිෂ්‍යයෙක් වන සුරංග කුමාර මහතා තමයි නෙත්මිව ඔය තැනට ගෙනාවේ. ගොඩක් අගහිඟකම් මැද අඩු පහසුකම් යටතේ නෙත්මි ලබපු ජයග්‍රහණය අපි අගය කරන්න ඕනෑ. ඔලිම්පික් සංචිතයට තේරී සිටින අපේ අහිංසාට එම ඔලිම්පික් හීනයද ජයගනිමින් ලක්මව රනින් බබළවන්න ඇයට අවශ්‍ය ශක්තිය වීරිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා යැයිද ඒ මහතා කීය.

සටහන හා ඡායාරූප ධම්මික රාජපක්ෂ
සඳලංකාව



advertistmentadvertistment
advertistmentadvertistment