එන්නත් භාර ගනිමින් ජනපති ශ‍්‍රී ලංකාවේ සංචාරයට චීන ජනතාවට ඇරයුම් කරයි

363

සැප්තැම්බර් මාසයේ සිට සංචාරක කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවෙතැයි තමා බලාපොරොත්තු වන බවත් ඒ අනුව චීන ජනතාවට නැවතත් ශී‍්‍ර ලංකාවේ සංචාරයට ඇරයුම් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.
 
 ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු තවත් සයිනොෆාම් එන්නත් ලක්‍ෂ 16 ක් චීන තානාපති චී. වෙන්ග් හොන්ග් මහතා විසින් නිල වශයෙන් භාරදීම ඊයේ (27දා* පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති අවස්ථාවේදීය.
 
 මෙම එන්නත්වලට අමතරව සිලින්ජර් ලක්‍ෂ 16 ක්ද පරිත්‍යාග කෙරුණි.
 
 ඊයේ ලැබුණු එන්නත් ලක්‍ෂ 16 උතුරු නැගෙනහිර පළාත්වල වයස අවුරුදු 30 ට වැඩි ජනතාවට ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදෙනු ලැබීය.
 
 අගෝස්තු මස අවසන් වන විට වයස අවුරුදු 30 ට වැඩි සියලූදෙනාට එන්නත් ලබාදීම අවසන් කළ හැකි වෙතැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා සයිනොෆාම් එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 27 ක් පරිත්‍යාග කරමින් කොවිඞ් මර්දන වැඩපිළිවෙළට චීන රජය ලබාදුන් සහය බෙහෙවින් අගය කරන බවද කීවේය.
 
 මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි, ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා, ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, චීන තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරි ලූ. චොන්ග් යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment