ආසිසුල් හකීම්ගේ දක්‍ෂ පිතිහරඹයත්, ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ගේ නීරස පිතිකරණ විලාශයත් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යෞවනයන් අතර පැවැත්වෙන තරග 6කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි තරගයෙන්ද (ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව) ලකුණු 39ක පහසු ජයක් ලැබීමට බංග්ලාදේශ යෞවනයන් සමත්විය.
පෙරේදා (30 දා) කොළඹදී පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් බංග්ලාදේශ ඉනිම පන්දු වාර 28කට සීමා විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 28 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 144ක් ලබාගැනීමට සමත්විය. කෙසේ වුවද ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය වූයේ පන්දු වාර 22ක් තුළ ලකුණු 159කි. ලකුණු 159ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා යෞවනයන්ගේ මුල් පෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 22ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 122ක් වීම හේතුවෙන් ලකුණු 39ක ජයක් බංග්ලාදේශ කණ්ඩායමට හිමිවිය.
ඒ අනුව තරග 6කින් සමන්විත තරගාවලියේ පැවැති තරග 3න් තරග 2ක් ජයගත් බංග්ලාදේශ කණ්ඩායමට තරගාවලියේ පෙරමුණ ගැනීමට ද හැකියාව ලැබිණි.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ආසිසුල් හකීම් ලකුණු 67ක්, සවාඩ් අබ්රාර් ලකුණු 38ක් සහ රිසාන් හුසේන් නොදැවී ලකුණු 24ක් ලැබීය.
පන්දු යැවීමේදී සනුජ නින්දුවර ලකුණු 43කට 1 කඩුල්ලක් බිඳහෙළීය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී කවිජ ගමගේ නොදැවී ලකුණු 32ක්, රමිරු පෙරේරා ලකුණු 21ක් සහ සනුජ නින්දුවර ලකුණු 17ක් ලැබීය.
පන්දු යැවීමේදී අල් ෆහාඩ් ලකුණු 21කට කඩුලු 2ක් සහ ආසිසුල් හකීම් ලකුණු 17කට කඩුලු 2ක් දවාලීය.
සිසිර ඉන්ද්‍රජිත්