අද ඉන්න දේශපාලන නායකයන්ට ජේ.ආර්ගේ චරිතය මනා ආදර්ශයක්

215

ජේ.ආර්. ජයවර්ධන 117 වන ජන්ම දින සමරුම් උත්සවයේදී හිටපු කතානායක කරු ජයසුරිය කියයි

වත්මන් දේශපාලන නායකයන්ට ජේ.ආර්. ජයවර්ධන චරිතය මනා ආදර්ශයක් බව හිටපු කතානායක දේශබන්දු කරු ජයසුරිය මහතා පැවසීය. හිටපු කතානායකවරයා කරුණු අනාවරණය කළේ දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 117 වන ජන්ම දින සමරුම වෙනුවෙන් පැවති විශේෂ උත්සවයේ ප්‍රධාන දේශනය කරමිනි. මෙම උත්සවය 17දා කොළඹ ජයවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ හිටපු කරු ජයසුරිය මහතා මෙසේද පැවසීය.

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතුයි කියලා ජයවර්ධන ජනපතිතුමා බොහෝ කාලයක සිට පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ වගේම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන සමග එක්ව වැඩ කළ යුතුයි කියන මතයේත් එතුමා හිටියා. එසේ කළ යුතුයි කියා ආසියාවේ රටවල් තුළින් පළමු මතය ඉදිරිපත් කළෙත් එතුමා. ඒ තුළින් රටේ තරුණ තරුණියන්ට

රැකියා අවස්ථා ලබා දීමට එතුමාගේ අරමුණ වුණා. අද චීනය ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වී තිබෙන්නේ මේ හවුල්කාරී ව්‍යාපාර නිසා. ජයවර්ධන මැතිතුමා යම් තීන්දුවක් ගත්තා නම් ඒ තීන්දුව වෙනස් කරන්නේ නැහැ. එතුමා වෙනස් කළේ ජනතාවාදී පාලනයක් ඇති කිරීම සඳහා පමණයි. ජපන් ජනතාව අද ජයවර්ධන මැතිතුමාට ගරු කරනවා. එදා ජාත්‍යන්තරය ඉදිරියේ ජපානය වෙනුවෙන් පෙනී සිටියා. එතුමාගේ රාජ්‍ය පාලනයේදී හොඳ තරුණ කණ්ඩායමක් හිටියා.තරුණයන්ට අවස්ථාවක්, බලයක් ලබා දුන්නා. අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල දියුණුවක් ඇති කිරීමට කටයුතු කළා. ජනපති ජයවර්ධන මැතිතුමා සතුව නායකත්ව ලක්ෂණ තිබුණා. වත්මන් දේශපාලන නායකයන්ට එතුමාගේ චරිතය ආදර්ශයක්.

ජනතාව වෙනුවෙන් සේවයක් කළත් ප්‍රසිද්ධිය බලාපොරොත්තු වුණේ නැහැ. කොළඹ ක්‍රමයේ මහ මොළකරු වුණෙත් එතුමා. එතුමා විදෙස් රටවල් සමග පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා රටට ඉතා වැදගත් වුණා. මහජනතාවගේ සෞඛ්‍ය කේෂත්‍රය, සනීපාරක්ෂක වැඩසටහන්, ප්‍රවාහන සේවය, ජල විදුලි බලාගාර ඇති කිරීම ඇතුළු සේවා රැසක් එතුමාගේ පාලන කාලය තුළ සිදු වුණා. රටවල් සමග වෙළඳ සබඳතා පුළුල් කර ගත්තා. කොළඹ ක්‍රමය තුළින් වෙළඳ සබඳතා තවත් ශක්තිමත් වුණා. කීර්තිමත් ජයවර්ධන නායකතුමා මේ රටට ඔබ කළ සේවය සම්බන්ධයෙන් ප්‍රණාමය පුද කර සිටිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පණිවිඩය ජේ.ආර්.ජයවර්ධන මධ්‍යස්ථානයේ වැඩබලන ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී. චාමිකා මුම්මුල්ලගේ මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කළ අතර එම සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

ජේ.ආර්. ජයවර්ධන යනු මෙරට සමාජ ආර්ථිකයේ පෙරළියක් කළ මහා විප්ලවවාදියාය. එතුමන් 1977 දී ආරම්භ කළ සමාජ, ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අයුරින්ම කාලානුරූපව ඉදිරියට ගෙන යන්නට අපට හැකි වූයේ නම් අද අප සංවර්ධිත රාජ්‍යයකි.

නමුත් රටේ ඇතිවූ කැරළි කෝලහාල ත්‍රස්තවාදය වැනි අර්බුද සහ ජේ.ආර්. දර්ශනය මනාව අවබෝධ කරගැනීමට අසමත් වීම ආදී විවිධ හේතු මත අපට ඒ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ සියයට සියයක්ම සාර්ථක කර ගැනීමට නොහැකි විණි. එවක සංවෘත ආර්ථික හා සමාජවාදී ආර්ථික පිළිවෙත් අනුගමනය කළ ඉන්දියාව, චීනය, වියට්නාමය ආදී අප කලාපීය රටවල් සිය සමාජ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරලීමේදී ජේ.ආර්. ක්‍රමය හැදෑරූහ. ඒ සියලු‍ රටවල් අවබෝධයෙන් යුතුව සිය ප්‍රතිපත්ති කාලානුරූපව හැඩගස්සවා ගනිමින් ඉදිරියට ගියහ.

ජේ. ආර්. දේශපාලනයට පිවිසියේ 1938 දී ශ්‍රී ලංකා කොංග්‍රස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු වශයෙනි. එතුමන් 1946 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂය ආරම්භ වන විට පක්ෂයට එක්ව ශ්‍රී ලංකාවේ පළමු කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යවරයා බවට පත්විය.අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමන්ගේ අභාවයෙන් පසුව 1973දී ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් එක්සත් ජාතික පක්ෂ නායකයා බවට පත්විය.

1977 මැතිවරණයෙන් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා බවට පත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් විසින් ජාතික ව්‍යවස්ථාවක් මඟින් විධායක ජනාධිපති ක්‍රමය ඇති කළේය. 1978 දී පළමු විධායක ජනාධිපති ලෙස පත්වීමෙන් පසු නීති සම්පාදක අගනුවර වන කොළඹ, ජයවර්ධනපුරට ගෙන ගිය එතුමන් ශ්‍රී ලංකාවේ ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික හා වාණිජමය දියුණුවට කැපවෙමින් සමාජ සාධාරණත්වය හා මනුෂ්‍යත්වය වෙනුවෙන් තම ජීවිතයම කැප කළ ජනාධිපතිවරයෙකි. එමෙන්ම ශ්‍රී ලංකා රාජ්‍යය නූතනවාදී රාජ්‍යයක් බවට පත් කිරීමේ නව සමාජ ක්‍රමය නිර්මාණය වූයේද ජයවර්ධන ජනාධිපතිතුමාගේ දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේය. නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සයවන මහ ලේකම් තනතුර දරමින් එතුමන් තම රට වෙනුවෙන් කරන ලද සේවයන් අතිමහත්ය.

මෙහිදී ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සභික ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජ්‍යෙෂ්ඨ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතාද අදහස් දැක්විය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, හිටපු අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, රවි කරුණානායක, දයා ගමගේ, ආනන්ද කුලරත්න, එජාප ප්‍රතිපත්ති හා පර්යේෂණ කමිටුවේ සභාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිනි සුනේත්‍රා රණසිංහ, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (දේශපාලන කටයුතු) ෂාමල් සෙනරත්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කේ.පී. දයාරත්න, ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සභික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යූ.ජී.ඒ. පුස්වෙවල, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුපුරන් වන රුක්ෂාන් ජයවර්ධන, අම්රික් ජයවර්ධන යන මහත්වරු ප්‍රමුඛ ජයවර්ධන මධ්‍යස්ථානයේ සභිකයින්, පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment