බදු බර මැද කෙන්යා මැතිසබයටත් ගිනි තබලා – විරෝධතාකරුවෝ 5ක් මරුට

84

කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි පාර්ලිමේන්තුවට ගිනි තැබීම නොතකා එරට මන්ත්‍රීවරුන් නව මූල්‍ය පනත සම්මත කර ගෙන තිබේ. විරෝධතාකරුවන් අඟහරුවාදා පාර්ලිමේන්තුවට කඩා වැදී එහි කොටසක් ගිනි තැබුවේ මේ බදු වැඩි කිරීමේ පනතට එරෙහිවය. විරෝධතාකරුවන්ට පොලිසිය වෙඩි තැබීම නිසා පුද්ගලයෝ පස්දෙනෙක් මරණයට පත්වූහ.

බදු ඉහළ නැංවෙන පනතට එරෙහිව දින ගණනාවක් පුරා කෙන්යාවේ උද්ඝෝෂණ පැවැත්වෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස පවා ගිනිතබා තිබේ.

කෙන්යා ජනාධිපති විලියම් රූටෝ, මේ සිදුවීම් ‘ද්‍රෝහී’ ලෙස හඳුන්වමින් උපරිම බලය යොදා නොසන්සුන්තාව මැඬපැවැත්වීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ. ඉහළ ජීවන වියදම පිළිබඳ විරෝධය සමග නව බදු පැනවීමේ මූල්‍ය පනතකට එරෙහිව කෙන්යාවේ මහජන කැරැල්ලක් ආරම්භ වී ඇත.

හිටපු ජනාධිපති උහුරු කෙන්යාටා පවසන්නේ කෙන්යාවේ නායකයින් තමන්ට ආණ්ඩු බලය ලබා දෙන්නේ ජනතාව විසින් බව දැනගත යුතු බවයි.

විරෝධතාකරුවකු වන 23 හැවිරිදි මොරීන් අවුර් පවසන්නේ ‘ආණ්ඩුව අපගේ හඬට ඇහුම්කන් දිය යුතුයි. අපි මතුවන පරම්පරාව, එබැවින් ඔවුන් අපට සවන් දිය යුතුයි.’ යනුවෙනි.

මේ අතර නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරන්නේ කෙන්යාවේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව සිටින බවත් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්ය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment