බසයෙන් බැස ගිය තරුණිය එම බසයටම යටවී මරුට

742

අවිස්සාවේල්ල, උක්වත්ත සුසාන භූමිය ඉදිරිපිට හයිලෙවල් පාරේදී පෞද්ගලික බස් රථයකින් බැසගත් තරුණියක එම බස් රථයටම යටවී ඊයේ (25 වැනිදා) දහවල් මරුමුවට පත්වී ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි. බස් රථයට තරුණිය යටවීමෙන් පසු බස් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව පොලිසිය බසය පසුපස පන්නා ගොස් නතර කර රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

අවිස්සාවේල්ල සිට හංවැල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයකට යටවීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල, පුවක්පිටිය, ප්‍රගතිපුර පදිංචිව සිටි 24 හැවිරිදි දිනක්ෂි දිල්ෂිකා නැමැති තරුණියකි. ඇය මහරගම පෞද්ගලික ආයතනයක සේවය කරන තැනැත්තියක බව හෙළිවිණැයිද පොලිසිය පැවසීය.

සිද්ධියට අදාළව පෞද්ගලික බස් රථයේ රියැදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට ගත් බවද පොලිසිය කීය.

මෙම තරුණිය අදාළ බස් රථයේ පැමිණ උක්වත්ත කනත්ත ඉදිරිපිට බස් නැවතුමෙන් බැස ඉදිරියට ගමන් කරන අවස්ථාවේ එම බස් රථයේ වම් පෙදෙසේ වැදී වැටී එහි වම්පස ඉදිරි රෝදයට හා පසුපස රෝදයට යටවී ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

මේ පිළිබඳව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රත්නායක මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment