ජාතික ගමනා ගමන කොමිසම හා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් පසුගියදා සිදු කළ බස් ගාස්තු සංශෝධනය තුළින් සමහර බස් කොන්දොස්තරවරුන් විසින් පෙර ගාස්තුවම අයකිරීම නිසා මගී ජනතාවට එම ගාස්තු සංශෝධනයෙන් සහනයක් සිදුවී නැතැයි බොහෝ මගීන් දොස් නඟති. මේ පිළිබඳව අප කළ විමසුමකදී සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ඉන්ද්‍රජිත් මහතා පැවැසුවේ, විශේෂයෙන්ම තිබෙන අර්බුදය වී ඇත්තේ සමහර බස් කොන්දොස්තරවරුන් අත මාරු මුදල් සංසරණය නොවන නිසා මගියාට ඉතිරි මුදල් ලබාදීමේදී ඔවුන් දැඩි අර්බුදයකට පත්වීම නිසා එවැනි අවස්ථාවන්වලදී සෑම බස් මගියෙක්ම බස් රථ කොන්දොස්තරවරයාට මාරු මුදල් ලබාදී ඔහුට සහාය වන ලෙසත්ය.
මෙම සංශෝධනයේදී අප සංගමයත් කැඳෙව්වා නම් මෙවැනි අර්බුදයක් සිදු නොවන බවද විශේෂයෙන්ම අප සංගමයේ අපේක්‍ෂාව සියලුම මගී ජනතාවට සහනය ලබාදීම බවද ඒ මහතා පැවැසීය.
කෙසේ නමුත් සෑම බස් රථයකම දුර ප්‍රමාණය අනුව සංශෝධිත ගාස්තුව ජනතාවට දිස්වෙන ආකාරයට නාම පුවරුවක් සවි කරන ලෙස තමා ඉල්ලා සිටින බවද වැඩිදුරටත් දන්වා සිටී.
ධර්මසේන වැලිපිටිය