බ්ලූස් ග්‍රීන්ස් පරදවා කොළ එළි දල්වයි

259

ආරාධිත පන්දු වාර විස්සයි-20 තරගාවලියේ පළමු දිනයේ පැවැති දෙවැනි තරගය වුණු බ්ලූස් සහ ග්‍රීන්ස් අතර තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු බ්ලූස් කණ්ඩායම සමත්විය.

ලකුණු 123 ක ඉලක්කයක් හඹා ගිය දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රීන්ස් කණ්ඩායමට බ්ලූස් පිලේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දු වාර 18.3 කදී රැස් කරගත හැකි වූයේ ලකුණු 90 ක් පමණි.

ලකුණු හඹා ගිය ග්‍රීන්ස් ඉනිමේ 6 වැනි පන්දු වාරය වන විට ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනකුම දවා

ගනිමින් සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ඩිල්ෂාන් මදුශංක ප්‍රමුඛ බ්ලූස් පන්දු යවන්නෝ සමත්වූහ. ප්‍රතිවාදී පිතිකරුවන්ට කිසිම අවස්ථාවක් ලබා නොදුන් මදුශංක සිය පන්දු වාර 4 ලකුණු 22 කට නවතාලමින් ධනංජය ද සිල්වා සහ නුවනිඳු ප්‍රනාන්දුගේ කඩුලු දවා ගැනීමට සමත්වූවේය. පන්දු යැවීමේදී ඩිල්ෂාන් මදුශංකට අමතරව ප්‍රවීන් ජයවික්‍රම සහ සුමින්ද ලක්ෂාන් කඩුලු 2 බැගින් බිඳ හෙලද්දී කසුන් රජිත, චාමික කරුණාරත්න සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ. දසුන් ශානක හුදෙකලා පිතිහරඹයක නිරත වෙමින් පන්දු 39 කදී ලකුණු 37 ක් ලබා ගත්තේ තම ඉනිම හතරේ පහර 3 කින් වර්ණවත් කර ගනිමිනි. දසුන්ට අමතරව වැඩිම ලකුණු ලාභියා වූයේ පැතුම් නිස්සංක වන අතර ඔහු ලකුණු 16 ක් ලබා ගත්තේය.

බ්ලූස් පන්දු වාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 122 යි – (චරිත් අසලංක 23, ධනංජය ද සිල්වා 14, අෂේන් බණ්ඩාර (නොදැවී) 37, සුමින්ද ලක්ෂාන් 10, කසුන් රජිත 19, ජෙෆ්රි වැන්ඩර්සි 12/3)

ග්‍රීන්ස් පන්දු වාර 18.3 කදී ලකුණු 90 යි – (දසුන් ශානක 37, දිනේෂ් චන්දිමාල් 11, පැතුම් නිස්සංක 16, ඩිල්ෂාන් මදුශංක 22/2, ප්‍රවීන් ජයවික්‍රම 16/2, සුමින්ද ලක්ෂාන් 22/2)


advertistmentadvertistment