හරි දේවල් හරි වෙලාවට කළ නිසා තරගාවලිය ජය ගැනීමට හැකි වුණා – ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා

225

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

විදේශ තරග සංචාරවලදී ඒ රටේ කණ්ඩායම සමග කරට කර ගැටීම අපහසු වුණත් තම කණ්ඩායම හරි දේවල් හරි වෙලාවට කළ නිසා බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පැවසීය.

බංග්ලාදේශයේ සාර්ථක ක්‍රිකට් තරග සංචාරයකට පසුව ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙරේදා (04 වැනිදා) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා ඒ බව කීය.

“විදේශ තරග සංචාරවලදී ඒ රටේ කණ්ඩායම සමග කරට කර ගැටීම අපහසුයි. ඒත් අපේ කණ්ඩායම හරි දේවල් හරි වෙලාවට කළ නිසා මෙම තරගාවලිය ජය ගැනීමට හැකි වුණා. ඒ වගේම ඉදිරි එංගලන්ත තරග සංචාරය ද ජයග්‍රහණය කර ගැනීම සඳහා ඉදිරි සැළසුම් සකස් කරමින් පුහුණුවීම් කිරීමට බලාපොරොත්තු වෙනවා” ශ්‍රී ලංකා නායකයා පැවසීය.

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලිය 02 – 00 ක් ලෙස ජයගත් අතර විස්සයි විස්ස තරගාවලිය 02 – 01 ක් ලෙස ජය ගැනීමට සමත් වී තිබුණි. එක් දින තරගාවලිය 2-1 ක් ලෙස පරාජයට පත් වූයේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා දින පස්වරු 04.45 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment