ඉදිරි අරගලයකට නායකත්වයක් දිය හැකි ලෙස කම්කරු ව්‍යාපාරය වර්ධනය කළ යුතුයි – කුමාර් ගුණරත්නම්

33

ජනාධිපතිවරණ අපේක්ෂකයන් නම් කරමින් විපක්ෂය සැබෑ සටනින් ඉවත් වෙලා

ඉදිරි ජන අරගලයකට නායකත්වය දිය හැකි මට්ටමට කම්කරු ව්‍යාපාරය වර්ධනය කළ යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (8 දා) පැවසීය.

මහරගම තරුණ සේවා සභාවේදී ඊයේ (8 දා) පැවැති කම්කරු අරගල මධ්‍යස්ථානයේ පළමු සම්මේලනයේ දී ඔහු මේ බව කීවේය.

කුමාර් ගුණරත්නම් මහතා එහිදී මෙසේ ද පැවසීය.

අද කම්කරු අරගල මධ්‍යස්ථානය සිය පළමු සමුළුවේ තේමාව ලෙස ගෙන ඇත්තේ අයි. එම්. එෆ්. මර උගුලට එරෙහිව කම්කරුවන් සංවිධානය කිරීම. මේ අයි.එම්.එෆ්. මර උගුල, ඉන්දියාවේ දේශපාලන බලපෑම් සමග මේ රනිල් රාජපක්ෂ යන ගමන වහා නතර කළ යුතුයි. එය නතර කිරීමට නම් සියලු ප්‍රගතිශීලීන්, වෘත්තීය සමිති හා වැඩකරන ජනතාව ඒකාබද්ධ විය යුතුයි. එහිදී කම්කරු අරගල මධ්‍යස්ථානය සිටින ස්ථාවරයේම තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් ඉන්නේ.

ආණ්ඩුව කියන්නේ තව අවුරුද්දකින් මැතිවරණයක් තියෙනවා. ඒ වනතුරු ඉන්න කියලා. විපක්ෂයත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් නම් කරමින්, සැබෑ සටනෙන් ඉවත් වෙලා මැතිවරණ ජයග්‍රහණ ගැන කියමින් ඉන්නවා. ඒ අනියමින් කියන්නේ තව අවුරුද්දක් මේ ආණ්ඩුවට මෙහෙම කරගෙන යන්න ඉඩ දෙමු කියලා. මේ විනාශකාරී වැඩපිළිවෙළ තව අවුරුද්දක් ඉදිරියට යන්න ඉඩ දෙනවාද? නැතිනම් දැන් මේ මර උගුල පරදවනවාද? මේ විනාශකාරී වැඩපිළිවෙළ පරදවන්නනම් පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතා බලය ගොඩනැඟිය යුතුයි. එම මහජන ව්‍යාපාරයේ නායකත්වය කම්කරු ව්‍යාපාරය විසින් ගත යුතුයි. මේ සමුළුව වැදගත් වීමට එය ප්‍රධාන කරුණක්.

පසුගිය වසරේ දැවැන්ත ජනතා අරගලයක් පැනනැගුණා. එයට නායකත්වය සැපයීමට කම්කරු ව්‍යාපාරය අසමත් වූ බව මට කලින් අදහස් දැක්වූ වෘත්තීය සමිති නායකයන් ස්වයං විවේචනාත්මකව පිලිගත්තා. දැන් අප කළ යුත්තේ ඉදිරි ජන අරගලයකට නායකත්වය දිය හැකි මට්ටමට කම්කරු ව්‍යාපාරය වර්ධනය කිරීම. ඒ සඳහා වෘත්තීය සමිති තුළ කම්කරුවන් සංවිධානය කිරීම වගේම වෘත්තීය සමිති සීමාව ඉක්මවා යෑමත් අවශ්‍යයි. කම්කරු පන්ති දේශපාලනය වර්ධනය කළ යුතුයි. ඒ සඳහා වන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත්, සියලු පීඩිත බලවේග ඒකාබද්ධ කරන මධ්‍යස්ථානයක් සඳහා මූලිකත්වය ගන්නා ලෙසත්, එහි නායකත්වය ගන්නා ලෙසත් අපි කම්කරු අරගල මධ්‍යස්ථානයෙන් ඉල්ලා සිටිනවා. ඒ හැකියාව තියෙන්නේ ගාමක බලවේගය විය හැක්කේ කම්කරු පන්තියට.

අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොඩනැඟුවේ සමාජවාදී සමාජ පරිවර්තනයක් සඳහා. බොහෝ දෙනා නව ලිබරල් වැඩපිළිවෙළ ඉදිරියේ දණ නමා සිටියදී අපි සමාජවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. සමහරු අහනවා සමාජවාදය ප්‍රායෝගිකද, එය කළ හැකිද කියලා. අපි අහනවා ධනවාදය හොඳද, අපි මේ ජීවත්වන විදිය හොඳද කියලා. අපි මුහුණදෙන අර්බුදවලට විසඳුම් සෙවිය හැක්කේ ධනවාදය පරාජය කිරීමෙන්. සමාජවාදය ගොඩනැඟීමෙන්. අපේ පක්ෂයේ දිගුකාලීන වැඩපිළිවෙළ එය. ඒ වැඩපිළිවෙළ සාර්ථක කරද්දී ගාමක බලවේගය වන්නේ කම්කරු පන්තිය. කම්කරු පන්තිය සංවිධානය කරන කම්කරු අරගල මධ්‍යස්ථානයේ පළමු සමුළුවට එම කාර්යභාරය ඉටු කිරීම සඳහා අපේ සුබපැතුම් එක් කරනවා.
අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment