ගයන්තිකා දෙවැනි හොඳම කාලය වාර්තා කරයි

326

ඇමරිකාවේදී පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 800 මූලික වටයේ දෙවැනි තේරීම් තරග ඉසව්වට ඊයේ (22 වැනිදා) උදෑසන සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න සිය ක්‍රීඩා දිවියේ මීටර් 800 ඉසව්වට වාර්තා කළ දෙවැනි හොඳම කාලය වාර්තා කිරීමට සමත් විය.

එහිදී ඇය පස්වැන්නා ලෙස තරගය අවසන් කිරීමට සමත් වූ අතර ඒ සඳහා මිනිත්තු 2:02.35ක කාලයක් ඇය විසින් වාර්තා කර තිබුණි.

ගයන්තිකා හට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි නොවුණත් සමස්ත ක්‍රීඩකාවන් 45ක් අතරින් 29 වැන්නා ලෙස මූලික වටය අවසන් කිරීමට ඇයට හැකි විය.

මීටර් 800 ඉසව්වෙන් ආසියානු පදක්කම් ලාභියෙකු වන ගයන්තිකා එම ඉසව්ව සඳහා ඇයගේ පෞද්ගලික හොඳම කාලය ලෙස මිනිත්තු 2:01.44ක් සටහන් කර ගෙන සිටී.

ගයන්තිකා ලෝක ශූරතාවක් සඳහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර ඇය මෙම මාසය අවසානයේ දී ආරම්භ වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වට ද සහභාගි වීමට නියමිතයි.

මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ තරග සියල්ලම මෙම තරගයත් සමග අවසන් වන අතර ගයන්තිකාට අමතරව මෙවර තරගාවලිය සඳහා යුපුන් අබේකෝන් සහ නිලානි රත්නායක මෙරට නියෝජනය කරමින් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment