සී.ඩී. 6කින් පාස්කු රහස් එළියට

696

මෙතෙක් හෙළි නොවූ කරුණු ද ඇතුළත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට පත් කරනු ලැබූ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ විමර්ශන වාර්තාව කතෝලික සභාව වෙත භාර දීමට රජය පියවර ගත්තේය.

ඒ අනුව කතෝලික සභාව වෙත ලියන ලද ලිපියක්ද සහිතව අදාළ වාර්තාව තමන් විසින් පෙරේදා (24 වැනිදා) කතෝලික සභාවේ රදගුරු මණ්ඩලයේ සභාපති කුරුණෑගල රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා පියතුමන්ට භාර දුන් බව මහජන ආරක්‍ෂක, නීතිය හා සාමය ඇමැති ටිරාන් අලස් මහතා ‘දිවයින’ට පැවසීය. පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික සභාවට භාරදීම සිදු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය සහිතව බවද ඇමැතිවරයා සඳහන් කළේය.

‘මා පසුගිය දිනක කතෝලික සභාවේ රදගුරු මණ්ඩලයේ සභාපති කුරුණෑගල රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා පියතුමන් ඇතුළු රදගුරු මණ්ඩලය කුරුණෑගලදී හමුවී සාකච්ඡාවක් කළා. එහිදී මම අවශ්‍ය කටයුතු සිදු කිරීමට කෙටි කාලයක් ලබාදෙන ලෙස කුරුණෑගල රදගුරුතුමා ඇතුළු රදගුරු මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා” යැයිද ඇමැතිවරයා පැවසීය.

එම සාකච්ඡාවේදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ වාර්තාව කතෝලික සභාවට ලබා දීමෙන් පසු පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන්ම එයට පෙර සිට සිදුවූ සිදුවීම් පෙළ හා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සිදු කළ විමර්ශන සම්බන්ධව කතෝලික සභාව හමුවේ පූර්ණ කරුණු පැහැදිලි කිරීමක් වාචිකව සිදු කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස රදගුරු මණ්ඩලයෙන් ඉල්ලා සිටි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ජනාධිපති විමර්ශන කොමිසමේ සම්පූර්ණ වාර්තාව කුරුණෑගල රදගුරුතුමන්ට භාරදෙන අවස්ථාවේ එය සමඟ යොමු කරන ලද ලිපිය මගින් එසේ පූර්ණ කරුණු පැහැදිලි කිරීමක් වාචිකව සිදු කිරීමට ඇති අවශ්‍යතාව යළි සිහිපත් කළ බවද ටිරාන් අලස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කතෝලික සභාවේ රදගුරු මණ්ඩලයේ සභාපති කුරුණෑගල රදගුරු හැරල්ඩ් ඇන්තනි පියතුමන්ගෙන් ‘දිවයින’ කළ විමසීමකදී පැවසූවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ ජනාධිපති විමර්ශන කොමිසමේ සම්පූර්ණ විමර්ශන වාර්තාව සංයුක්ත තැටි හයකින් යුතුව ටිරාන් අලස් මහතා විසින් සිය නියෝජිතයකු මාර්ගයෙන් තමන්ට භාර දුන් බවය. රදගුරු මණ්ඩලය විසින් එම වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කතෝලික සභාවේ නිල ප්‍රකාශයක් සිදුකරන බවද කුරුණෑගල රදගුරු පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.

සමන් ගමගේ සහ නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment