අත්අඩංගුවට ගැනීම වළක්වන්න : ජීවන්ත පීරිස් පියතුමාගේ පෙත්සම සැප්. 1 ට කල් දමයි

96

ගාලුමුවදොර පිටියේ පැවැති සාමකාමී අරගලයට සක්‍රීයව දායකත්වය දැක්වී යැයි චෝදනා කරමින් පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ විසින් තමන් අත්අඩංගුවට ගැනීමට දරන උත්සාහය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අමිල ජීවන්ත පීරිස් පියතුමා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන සැප්තැම්බර් 01 දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09 දා) නියෝග කළේය.

නීතිඥ උදාර මුහන්දිරම්ගේ සහ නීතිඥ නාමල් කරුණාරත්න යන මහත්වරුන් මගින් ගොනුකර තිබූ එම පෙත්සම එල්. ටී. බී. දෙහිදෙණිය, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටී රජයේ අධිනීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා පෙත්සම්කරුගේ ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි විරුද්ධත්වය දැක්වීය.

පෙත්සම්කරු අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කළ අයකු බවත් මොහු මේ වන විටත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවක සැකකරුවකු ලෙස නම්කර ඇති බවත් පෙන්වා දෙමින් රජයේ අධිනීතිඥවරයා එම විරෝධතාව දැක්වීය.

සිය සේවාදායකයා නඩුවක සැකකරුවකු ලෙස නම්කර ඇති බවට මේ දක්වා තමන් දැනුවත්ව නොසිටි බවත් එම නඩුවේ චෝදනා අධ්‍යයනය කර ඉදිරියේදී අධිකරණය හමුවේ කරුණු තහවුරු කිරීමට අපේක්‍ෂා කරන බවත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෙහිදී කියා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment