බ්ලූ ඕෂන් රෙසිඩන්ස් සිද්ධිය: මිලියන 20ක වංචාවේ විමර්ශන ඉක්මන් කර වාර්තාව දෙන්න – ගල්කිස්ස උසාවියෙන් සීඅයිඩීයට නියෝග

429

මෙරට ප්‍රකට නිවාස සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපාර සමූහයක සේවය කරමින් සිටිය දී චෙක්පත් මගින් නිකුත් කළ රුපියල් මිලියන 20කට අධික මුදලක් වංචා කළේ යැයි චෝදනා එල්ල වී ඇති සමගි ජන බලවේගය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා අපේක්ෂකයකු ඇතුළු තිදෙනකුට එරෙහිව සිදුකරන විමර්ශන කඩිනමින් අවසන් කොට විමර්ශන වාර්තා තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (22 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්වට නියෝග කළේය.

තම අධිකරණය විසින් මේ වනවිට විදේශ ගමන් තහනමක් පනවා ඇති නවරත්න රාසා හම්සප්‍රියා, කරුපයියා මෝගන් සුන්දරම් හා අරුන්දවනාදන් අනෝෂන් නමැති සැකකරුවන් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. තුන්වන සැකකාර ප්‍රාදේශීය සභා අපේක්ෂකයා බ්ලූ ඕෂන් රෙසිඩන්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කළ බවත් එම ආයතනයේම සේවය කළ ඉංජිනේරුවරියක වන දෙවන සැකකාරිය හා සහකාර ගණකාධිකාරවරයා ලෙස කටයුතු කළ දෙවන සැකකරු සමග එක්ව එකී වංචාව සිදු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය අධිකරණයට කියා තිබිණි.

එම ආයතනයේ කටයුතුවලට සම්බන්ධ වී සිටි වරලත් ගෘහ නිර්මාණ ශිල්පියකු වන ජගත් මුණසිංහ මහතාට මුදල් ගෙවන මුවාවෙන් ලියන ලද චෙක්පත් ඔහුට නොයවා එකී මුදල වංචා කළ බවට බ්ලූ ඕෂන් රෙසිඩන්ස් පුද්ගලික සමාගමේ හිමිකරු වන සිවරාජා තම්ලත් මහතා විසින් 2018.04.10 වැනිදා කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට පවස තිබිණි. පැමිණිල්ල සිදු කර වසර පහක් ගතවනතුරුත් විමර්ශන අවසන් කිරීමට ප්‍රමාද වූයේ ඇයි දැයි විවෘත අධිකරණය හමුවේදී විමර්ශන නිලධාරීන්ගේන් විමසූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශන අවසන් කොට සැකකරුවන් නම් කොට අධිකරණයට වාර්තා කරන ලෙසට ද එම විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

එකී සැකකරුවන් තමන් සේවය කළ පෙරකී සමාගමෙන් වංචා කළ මුදල රුපියල් කෝටි 20 කට අධික වුවත් ඔවුන් සූක්ෂමව එකී වංචාව සිදු කර ඇති නිසා සාක්ෂි සහිතව අනාවරණය කර ගැනීමට හැකි වී ඇත්තේ රුපියල් කෝටි දෙකක පමණ මුදලක් සම්බන්ධයෙන් පමණක වන්නේ යැයි අගතියට පත් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණයට පැවසීය. ජනාධිපති නීතිඥවරයා නඟන එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයට පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment