ලෙඩ හොඳ නම් කෙහෙළිය 7 දා උසාවි ගේන්න නියෝග

92

විත්තිකාර හිටපු සෞඛ්‍ය ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන්නේ නම් ලබන 7 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (16දා) නියෝග කළේය.

එදින ඔහු අධිකරණයට ඉදිරිපත් කළහොත් ඔහු ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවට අදාළ නියෝගය නිකුත් කිරීමේ හැකියාව පවතින බව ද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික දුරකථනයේ බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් රුපියල් දෙලක්‍ෂ තිස්දහසකට අධික මුදලක් වැයකර ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛනයට පටහැනිව ගෙවීම ඇතුළු චෝදනා යටතේ එම නඩුව පවරා තිබිණි. දෙවන විත්තිකාර රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද ඊයේ (16) අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් පීල්ලගේ මහතාගේ උපදෙස් පරිදි නීතිඥ ප්‍රදීප් ගුණතිලක මහතා පෙනී සිටියේය. පළමුවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතිඥ වසීම් අක්‍රම් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග නීතිඥ කිංකිණි විලත්ගමුව මහත්මිය පෙනී සිටියාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment